ඉරාන ජනාධිපති හා පාකිස්තානය අග්‍රාමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්

0
3

කලාපීය සාමය සහ ආරක්ෂාව නංවාලීම සඳහා වන අවංක සහ සෘජු ප්‍රයත්නයන් වෙනුවෙන් උපරිමයෙන් කැපවී සිටින බව පාකිස්තානය අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් පවසයි. 

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදී ඔහු මේ බව අවධාරණය කර ඇත.

මෙම සංවාදය සිදුව ඇත්තේ ඉරානය සමඟ තවත් වටයක සාකච්ඡා සඳහා අමෙරිකානු නියෝජිතයන් ඉස්ලාමාබාද් බලා යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කිරීමෙන් පසුවය. 

අප්‍රේල් 11 සහ 12 යන දිනවල ඉස්ලාමාබාද්හි පැවැත්වූ ඓතිහාසික පළමු වටයේ සෘජු අමෙරිකා-ඉරාන සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය.

මෙම සාකච්ඡා පැවැත්වුණේ වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් සති දෙකක සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරය. 

පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරත් සමඟ ආරම්භ වූ ගැටුම් මෙම සටන් විරාමය මගින් තාවකාලිකව නතර කර ඇති අතර, එය අප්‍රේල් 22 වන දින අවසන් වීමට නියමිතය.

ෂරීෆ් සහ පෙසෙෂ්කියන් අතර විනාඩි 45ක පමණ කාලයක් පැවති මෙම  සුහද සංවාදයේදී නායකයන් දෙපළ වත්මන් කලාපීය තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනය කර ඇත.

අප්‍රේල් 11-12 දිනවල ඉස්ලාමාබාද්හි පැවති පළමු වටයේ සාකච්ඡා සඳහා ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් එවීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉරානයට ස්තූතිය ද පුද කර තිබේ.

එමෙන්ම සෞදි අරාබිය, කටාර් සහ තුර්කියේ නායකත්වයන් ඇතුළු ලෝක නායකයින් ගණනාවක් සමඟ තමන් මෑතකදී පැවැත්වූ සාකච්ඡා පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා ඉරාන ජනාධිපතිවරයා දැනුවත් කළ බව වැඩිදුරටත් සඳහන් වේ. 

සාම ප්‍රයත්නයන්හි සාර්ථකත්වය වෙනුවෙන් පාකිස්තානය දක්වන දැඩි කැපවීම පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා විසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පුද කර ඇති අතර, ඉදිරියේ දී ඉරානය සහ පාකිස්තානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව අවධාරණය කළේය. 

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here