මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම හරහා සිදු වූ වංචාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ජනාධිපතිවරයා ද වගකිව යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සිය සංවිධානය විසින් අදාළ සිදුවීම පිළිබද තොරතුරු හෙළි නොකළේ නම් ආණ්ඩුව එය තවදුරටත් වසන් කරමින් සිටින බවය.
මහ භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාළ පාර්ශවය වෙත ලැබී නොමැති බවත් එම මුදල් පරිගණක හැකර්වරයෙකු හෝ තෙවන පාර්ශවයක් අතට පත්ව ඇති බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් ඊයේ (22) අනාවරණ කළේය.
“මේ හොරකම සිද්ධ වුණාට පස්සේ පළවෙනියෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයා වගකියන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමාත් මේකට සමානව වගකියන්න ඕනේ. එතුමාට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියපේරුම මහතා ඔස්ට්‍රේලියාවේ අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා. එතකොට එතුමත් මේකට සම්බන්ධ ද කියලා යම් කිසිම සැකයක් මතු වෙනවා. ඒ සැකය මතුවෙනකොට ඒ පුද්ගලයා ලේකම් හැටියට තියාගෙන විමර්ශනයක් කරන්න පුළුවන් ද? මොකක්ද මේකේ තියෙන සාධාරණය. මම ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කියනවා පළවෙනියෙන් ඔබතුමාත් අයින් වෙන්න ඕනේ. ලේකම්වවත් අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ නැතිව මේ විමර්ශනය කරන්න බැහැ. මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා මේ ගැන හොයන්න. ඔස්ට්‍රේලියාවට මුදල් ගියා කියන එක ඒ අය පිළිඅරන් තියෙනවා. එතොකට මෙවැනි සිද්ධි ගැන නිකරුණේ අමතක කරලා දාන්න ඉඩ දෙන්න බෑ.
මේ රජය මේ රටේ ජනතාව රවට්ටලා තියෙන්නේ. සිද්ධිය වෙලා දැනට මාස තුනක් විතර වෙනවා. අපේ සංවිධානය විසින් මේක හෙළිදරව් කරනකම් මේක එළියට ආවේ නැහැ. මේගොල්ලොන්ට මේක කිසිසේත්ම මහජනතාව ඉදිරියට ගෙනියන්න නෑ. ඒ අවශ්‍යතාව තිබුණේ නැහැ. මේක හංගලා සම්පූර්ණයෙන්ම අමතක කරලා වළ දාන්න තමයි මේ ආණ්ඩුව ලෑස්ති වෙලා හිටියේ. බලන්න මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ඇස්වහලා ක්‍රියාකරන්න හදන ආකාරය ගැන. නිලධාරින් පැහැදිලිවම නොසැලකිලිව කටයුතු කරලා තියෙනවා කියන එක අපි පැහැදිලි කරන්න ඕනේ.”
අදාළ කාරණාව පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිඛිතව ලිපියක් යොමුකරමින් දැනුම්දීමක් ද සිදුකර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, සයිබර් හැකර්වරුන් සිදුකළ අදාළ සොරකම සම්බන්ධයෙන් නීතිය බලාත්මක කරන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් කිහිපදෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.
Saru News













