විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මේ වසරේ පළමු කාර්තුවේදී මෙරටට එවා ඇති ප්‍රේෂණ 27%කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
එය ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5%කින් ඉහළ යාමක් බවද එම කාර්යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි. ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751, පෙබරවාරි මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී තිබේ.
2025 වර්ෂයේ පළමු මාස 03 තුළදී ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 1.815කි. ඒ අනුව මෙලෙස විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහළයාමට රාජ්‍ය මූල්‍ය විනය, විශ්වාසය, විනිවිදභාවය හා ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීමේදී නීත්‍යනුකූල මාර්ග ක්‍රමවේද භාවිත කිරීමට කාර්යාංශය විසින් උනන්දු කරවීම හේතු වී ඇති බව එම කාර්යාංශය සඳහන් කරයි.
මේ අතර මේ වසරේ ජනවාරි සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙනකු රැකියා සඳහා විදේශගත වී තිබේ.
1
Saru News
















