ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.
පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙම ඉල්ලා අස්වීම “වහාම ක්‍රියාත්මක වන පරිදි” සිදුවන බවය.
ෆෙලන්ගේ ඉවත්වීමත් සමඟ නාවික හමුදා උප ලේකම් හන්ග් කාඕ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් වේ.
පසුගිය මාස කිහිපය තුළ ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ ඉහළ පෙළේ හමුදා නායකයින් අතරට ෆෙලන් ද එක් වේ.
මොහු 2024 වසරේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද අතර 2025 මාර්තු මාසයේදී නාවික හමුදා ලේකම් ලෙස දිවුරුම් දුන්නේය.
ෆෙලන්ගේ ඉවත්වීමට නිශ්චිත හේතුවක් නාවික හමුදාව මෙතෙක් අනාවරණය කර නොමැති අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් මෑතකදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් ධූරවලින් ඉවත් කරනු ලැබීය.
ධූරයෙන් ඉවත් වන ෆෙලන් වෙනුවට පත්වන හන්ග් කාඕ, වසර 25 ක අත්දැකීම් සහිත නාවික හමුදා ප්‍රවීණයෙකි.
ධූරයෙන් සමුගන්නා ෆෙලන් සිදුකළ සේවය පිළිබඳව පෙන්ටගනය සිය කෘතඥතාව පළ කර ඇත.
මෙම නායකත්ව වෙනස්වීම සිදුවන්නේ ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය අතර පවතින දැඩි යුදමය වාතාවරණයක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති පසුබිමක ය.
ඉරාන වරායන් වෙත පනවා ඇති අමෙරිකානු නාවික අවහිරය තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
සටන් විරාම ගිවිසුම් අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් උල්ලංඝනය කරන බැවින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කළ නොහැකි බව ඉරාන ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගලිබාෆ් පවසා ඇත.
ලෝක තෙල් සැපයුමෙන් විශාල කොටසක් ගමන් කරන මෙම සමුද්‍ර සන්ධිය තුළදී නැව් දෙකක් තම භාරයට ගත් බව ඉරානය නිවේදනය කර කළේය.
Saru News
















