සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ගණේමුල්ල සංජීව නමැත්තාව අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාර සෙව්වන්දි තවත් දින 30 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20) දැනුම් දුන්නේය.
විදේශයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පිංපුර දේවගේ ඉෂාරා වේවන්දි නමැති සැකකාරිය දින 90 බැගින් අවස්ථා 02 කදී රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව අධිකරණයට දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අදාළ රැඳවුම් නියෝග කාලය (දින 180) මේ වන විට අවසන් වී ඇති බැවින් තවත් දින 30 ක් සැකකාරිය රඳවාගෙන ප්‍රශ්න කරන බව දන්වා සිටියේය.
ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතන සිද්ධියට අදාළව විදෙස්ගතව සිටින සැකකරුවන් 08 දෙනකු කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම ඝාතන සිද්ධියට අදාළව පවත්වන පුළුල් විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම, කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.
📌සබැඳි පුවත්
Saru News













