මහ බැංකු හොරු අල්ලන්න ආපු NPP ආණ්ඩුවට මුදල් අමාත්‍යාංශයේ හොරු අල්ලන්න වෙලා – මුජිබර්

0
2

ආශිකා බ්‍රාහ්මණ

LNW කොළඹ: මහ බැංකු හොරු අල්ලන ආපු ජාතික ජනබලවේගයට මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5 ක මුදල ගත් පුද්ගලයාව හොයන්න සිද්ධ වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

තනතුරුවලට සුදුසු නැති, මුදල් අමාත්‍යාංශය දේශපාලනිකරණය කර, ජනාධිපතිවරයාගේ ගජ මිතුරන් රජයේ ඉහළ තනතුරුවලට පත් කර ඩොලර් මිලියන 2.5 ක මුදල හොරකම් කරන්න ඉඩ ලබාදී ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුලින්ම ඉවත් කළ යුතුයි. ඉන්පසුවයි පරික්ෂණ කටයුතු ආරම්භ කළ යුත්තේ. ජනතාවගේ සෑම බදු මුදලකටම වග කියන බව ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා. නමුත් මේ වනවිට ජනතාවගේ මුදල්වලින් ඩොලර් මිලියන 2.5 ක් හොරකම් කර තිබෙනවා. මේ සඳහා වගකිව යුතු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් නොකළහොත් සමගි ජනබලවේගයෙ අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබනවා.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව වංචනික ආකාරයෙන් කටයුතු කරන බවක් පෙනෙන්ට ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එම සිද්ධිය පිළිබඳ සය බැලීමට කමිටුවක් පත්කරන්නේ මෙම සිද්ධිය ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පරිවර්තනය වී රටම දැනගත් පසුව බව හෙතෙම පැවසීය.

”මහා භාණ්ඩාගාර සිද්ධිය හෙළි වූවාට පසුව ඒ සම්බන්ධයෙන් සොයා බලන්න කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුවට පත් කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේම සිටින පිරිසක්. මෙම කමිටුවේ සිටින නිලධාරින් දෙදෙනෙකුට අධිකරණයෙන් චෝදනාත් එල්ල වී තිබෙනවා. එවැනි චෝදනා එල්ල වුණ නිලධාරින්වයි මෙම කමිටුවට පත් කර තිබෙන්නේ. ඒ වගේම මෙම සිද්ධිය සිදුවී මාස 5 කට ආසන්න කාලයක් ගතවී ගොස් තිබුණත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි නොකිරිම පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

The post මහ බැංකු හොරු අල්ලන්න ආපු NPP ආණ්ඩුවට මුදල් අමාත්‍යාංශයේ හොරු අල්ලන්න වෙලා – මුජිබර් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here