නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:සාම පා ගමනේ නිරත මහා සංඝරත්නයට බාධා වන අයුරින් හැසිරෙන පුද්ගලයන් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි.
දඹුල්ලේ සිට ආරම්භ කරන ලද පාගමනේදී මහා සංඝරත්නය සමඟ සමාන්තරව ගමන් කොට ඡායාරූප ගනිමන් පාගමනට බාධා කරන පිරිස් සහ සාම පා ගමනට සිදුකරන බාධාවන් ඉවත් කිරීමට පොලිසියට උපදෙස් දුන් බව ද ඒ මහතා පැවසුවේය.
අනුරාධපුරයේදී හා දඹුල්ලේදී එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වූ බැවින් මෙම තීරණයට එළැඹි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
තමන් ගන්නා ඡායාරූප සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම සඳහා ඇතමුන් මේ අයුරින් මහා සංඝරත්නයට බාධා වන පරිදි හැසිරෙන බව නිරීක්ෂණය වූ බව කී ඒ මහතා ඉදිරියේදී එවැනි සිද්ධි සිදු නොවීමට කටයුතු කරන බව ද පැවසුවේය.
මහා සංඝරත්නය සමඟ ගමන් කරන අලෝකා සුනඛයා යම් අසනීප තත්ත්වයකින් පසුවීම නිසා මහනුවර නිල සුනඛ කොට්ඨාශයේ ගිලන් රථයක් යවා ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කළ බව ද ඒ මහතා කීවේය.
අද දිනයේදී මාතලෙන් පිටත්වන සාම පා ගමන සඳහා බාධා නොකර එය නැරඹීමට හා මහා සංඝරත්නය වැඳ නමස්කාර කිරීමේ හැකියාව පවතින බවත් අව් රශ්මියෙන් උන් වහන්සේලාගේ පාද ආරක්ෂා කර ගැනීම සඳහා මාර්ගයේ වම් පස කෙසෙල් කොළ ඇතිරීමට අවස්ථාව තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කමිටු රැස්වීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්මානිත මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වෛද්‍ය හංසක විජයමුනි යන මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු නිලධාරීන් ද සහභාගීවූහ.

The post පාගමනේ නිරත මහා සංඝරත්නයට බාධා කරන පුද්ගලයන් ඉවත් කිරීමට පොලීසියෙන් පියවර! appeared first on LNW Sinhala.
Saru News
















