ආරක්‍ෂක ලේකම්, UN සහකාර මහලේකම් නිව්යොර්ක් හිදී හමුවෙයි

0
2

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කලීඩ් කියාරි මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදුකළ නිල සංචාරය අතරතුර මෙම හමුව පවත්වා ඇත.

කලීඩ් කියාරි මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන, සාම සාධක කටයුතු සහ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, අමෙරිකාව, ආසියාව සහ පැසිෆික් කලාපය භාර සහකාර මහලේකම්වරයා ලෙසින් කටයුතු කරනු ලබයි.

මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යෝජිත හමුදා කණ්ඩායම් අනුයුක්ත කිරීමට අදාළව ගනු ලබන පූර්ව සූදානම පිළිබඳවද පුළුල් ලෙස පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

මෙහෙයුම් සඳහා තෝරාගනු ලබන සියලුම හමුදා සාමාජිකයන් මානව හිමිකම් නිදර්ශන විමර්ශන ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ පුළුල් හා ව්‍යුහාත්මක පුහුණුවක් ලබා ගන්නා බවද එහිදී අවධාරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අවශ්‍යතාවන්ට අනුකූල වීම සහ මෙහෙයුම් පරිසරයන් තුළ වෘත්තීයමයභාවය තහවුරු කරමින් මෙම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇත.

මෙම පුහුණු වැඩසටහන්වලට අදාළ අදියර තුළ, අදාළ ප්‍රමිතීන් සහ සම්මතයන් උල්ලංඝනය කිරීමේ ඕනෑම ක්‍රියාවක ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි මඟපෙන්වීමක් ඇතුළත් වන බවද දූත පිරිස විසින් මෙහිදී පෙන්වා දී තිබේ.

වාර්තා කිරීම සහ චෝදනා විමර්ශනය කිරීමේ ක්‍රියා පටිපාටි මෙන්ම නිසි බලධාරීන් විසින් වරදකරුවන් කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු වගවීම තහවුරු කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වන බවද ඔවුහු එහිදී වැඩිදුරටත් සඳහන් කළහ. 

තවද, මේ සම්බන්ධයෙන් ජාතික විමර්ශන නිලධාරියාගේ කාර්යභාරය ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද ශ්‍රී ලංකා දූත පිරිස සමග මෙම හමුවට එක්ව සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here