ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති රුපියල් බිලියන 13.2 ක දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලැසුම් කර ඇති වෝහාරික විගණනයට (Forensic Audit) පෙර එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල කපා දැමීමට සැලැසුම් කර ඇති බව වාර්තා වේ.
මීට පෙර එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විය යුතුබවට එම බැංකු අභ්‍යන්තරයෙන් පීඩනයක් එල්ලවී තිබුණ ද මේවන විට අදාළ තත්ත්වය වෙනස්වී ඇති බව පැවසේ.
ඒ වෝහාරික විගණනයට පැමිණෙන විදේශීය විශේෂඥයින්ට අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යවීම නිසාය.
කෙසේවුවද, මේවන විට අදාළ අධ්‍යක්ෂ මණ්ඩලය ජාතික සංවර්ධන බැංකුවේ (NDB) වංචාව සම්බන්ධ සිද්ධිය යට ගැසීමට විශාල වශයෙන් මාධ්‍ය ආයතනවලට මුදල් ලබාදී ඇති සිද්ධියක් සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිව ඇති බව මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අතර, ඉදිරි නඩුවාරයකදී අධ්‍යක්ෂ මණ්ඩලයේ විදෙස් ගමන් තහනම් කිරීමට හා විදෙස් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට ඉල්ලීමක් කිරීමට ද මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යෝජනා පැමිණ ඇතැයි ද මේ අතර වාර්තා වේ.
මේ අතර, අධ්‍යක්ෂවරුන් තබා ගනිමින් විදේශීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කළ නොහැකි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
එස් එල් ලීඩර් (slleader.lk) පෙන්වා දී තිබුණේ මෙම ක්‍රියාවලියේ ඇති විශාලතම තාර්කික හා නෛතික දෝෂය වන්නේ, අදාළ වංචාව සිදුවන සමයේ බැංකුවේ අභ්‍යන්තර පාලනයට සහ අවදානම් කළමනාකරණයට සෘජුවම වගකිව යුතු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය තවමත් සිය තනතුරුවල එලෙසම රැඳී සිටීම අගතිදායක බවයි.
එහි වැඩිදුරටත්,
බැසල් කමිටු මාර්ගෝපදේශ (Basel Committee Guidelines):
බැංකු අධීක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර බැසල් කමිටුව විසින් හඳුන්වා දී ඇති ‘බැංකු සඳහා වූ ආයතනික යහපාලන මූලධර්ම’ (Corporate Governance Principles for Banks) අනුව, මෙවැනි පද්ධතිමය බිඳවැටීමකදී ඊට අදාළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන විට, ගැටුම්කාරී අවශ්‍යතා (Conflict of Interest) වළක්වා ගැනීම සඳහා අදාළ බලධාරීන් පරීක්ෂණ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඈත් කළ යුතුබවයි.
ස්වාභාවික යුක්තියේ මූලධර්මය (Natural Justice):
ගෝලීය නීති පද්ධතියේ මූලිකාංගයක් වන “Nemo iudex in causa sua” (කිසිවෙකුට තමන්ගේම නඩුවක විනිශ්චයකරුවෙකු විය නොහැක) යන න්‍යාය මෙහිදී අමු අමුවේ උල්ලංඝනය වේ. චූදිතයින් යැයි සමාජය සැක කරන පිරිසකගේ පාලනය යටතේ පවතින ආයතනයක් තුළට විදේශ විගණකවරුන් ගෙන්වා, ඔවුන්ගේම ඩිජිටල් දත්ත, අභ්‍යන්තර ඊමේල් සහ මූල්‍ය වාර්තා පරීක්ෂා කිරීම කිසිසේත්ම ස්වාධීන ක්‍රියාවලියක් නොවන බවද එහි දක්වා තිබිණි.
සාක්ෂි විනාශ කිරීමේ සහ සේවකයින්ට බලපෑම් කිරීමේ පූර්ණ නිදහස මෙහිදී සැකකරුවන්ට ලැබී ඇති බවද පෙන්වා දී තිබිණි.
සර්බේන්ස්-ඔක්ස්ලි පනතේ ආදර්ශය (Sarbanes-Oxley Act – SOX):
ජාත්‍යන්තර මූල්‍ය වංචා වැළැක්වීමේ රන් සම්මතය ලෙස සැලකෙන ඇමරිකානු SOX පනතට අනුව, ආයතනයක අභ්‍යන්තර මූල්‍ය පාලන පද්ධති (Internal Financial Controls) බිඳ වැටීමක් සඳහා ප්‍රධාන විධායක නිලධාරියා (CEO) සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා (CFO) සෘජුවම අපරාධ වගකීමකට (Criminal Liability) යටත් වන බවද පැවසේ.
“බැංකුව සුරක්ෂිතයි” කීවත්, ජනතාවට අහිමි වූ සැබෑ වත්කම
මහ බැංකුව මෙම සිදුවීමෙන් තැන්පත්කරුවන්ට බලපෑමක් වී නැතැයි දිගින් දිගටම නිවේදනය කළ ද ඉන් ජනතාවට බලපෑමක් සිදුව ඇති බව මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබේ.
ඒ මහ බැංකුවේ මැදිහත්වීම මත අත්හිටුවන ලද අප්‍රේල් 06 වෙනිදා ගෙවීමට නියමිතව තිබූ NDB ලාභාංශ (Cash Dividends) හරහා, මෙරට සමස්ත වැඩකරන ජනතාව දැනටමත් මෙම මහා බැංකු මංකොල්ලයේ සෘජු වින්දිතයින් බවට පත්වී ඇති බව පෙන්වා දෙමිණි.
මහජන මුදල් වලින් යැපෙන ප්‍රධාන ආයතනවලට අහිමි වූ මුදල සුළුපටු නැත:
ඒ අනුව, EPF අරමුදලට අහිමි වූ මුදල රුපියල් මිලියන 260ක් බවත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට (SLIC) අහිමි වූ මුදල රුපියල් මිලියන 305 ක් බවත්, ලංකා බැංකුවට (BOC) අහිමි වූ මුදල රුපියල් මිලියන 218 ක් වන බවත්, ETF අරමුදලට රුපියල් මිලියන 93 ක් අහිමි වූ බවත් පැවසේ.
සංයුක්ත පොළියේ ඛේදවාචකය:
මෙය හුදෙක් අද දවසේ අහිමි වූ මිලියන ගණනක මුදලක් පමණක් නොවන අතර, EPF සහ ETF වැනි අරමුදල් ක්‍රියාත්මක වන්නේ සංයුක්ත පොළිය (Compound Interest) පදනම් කරගෙන බවත් වාර්තා වේ.
අද අහිමි වූ මෙම මුදල, වසර 20 කින් හෝ 30 කින් විශ්‍රාම යන මෙරට මිලියන 10 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයින්ට අහිමි කර ඇත්තේ රුපියල් බිලියන ගණනක අනාගත විශ්‍රාම ප්‍රතිලාභයක් බවද ආර්ථික ප්‍රවීනයන්ගේ මතය වේ.
අදාළ බැංකු වංචාව සම්බන්ධයෙන් මුලින්ම හෙළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් අප විසින් වන අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කිරීමට කටයුතු කරමින් සිටී.
📌සබැඳි පුවත්
Saru News
















