මෙරට සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු පරිපූරක (PSM) සහ අතුරු වෛද්‍ය (Paramedical) ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ (19) කටයුතු කරන ලදී.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී එම ඩිප්ලෝමා ප්‍රදානය සිදු කෙරිණි.
මෙම ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ප්‍රධාන සැසි වාර දෙකකින් සමන්විත වු අතර, පළමු සැසියේ දී මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) සඳහා ඩිප්ලෝමා පිරිනැමීම සිදු කෙරිණි. ඒ අනුව, මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) 449 ක්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) 77ක් ලෙස වෘත්තිකයින් 526කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරිණි.
දෙවන සැසිවාරයේ දී පාසල් දන්ත චිකිත්සක සේවා (School Dental Services – SDT), ඖෂධවේදී (Pharmacy) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector – PHI) යන ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් සඳහා උසස් ඩිප්ලෝමා (Higher Diploma) පිරිනැමීම සිදු කෙරුණ අතර, ඒ අනුව, පාසල් දන්ත චිකිත්සක සේවා වෘත්තිකයින් (SDT) 39 ක්, ඖෂධවේදී (Pharmacy) 149 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) 238 ක් වශයෙන් වෘත්තිකයින් 426 කට උසස් ඩිප්ලෝමාලා පිරිනැමීම සිදුවිය.
ඩිප්ලෝමා ප්‍රදානය කිරීමෙන් අනතුරුව උපාධිධාරීන් අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක ඉදිරි ගමනේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවයි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දක්ෂ හා කැපවූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය සෞඛ්‍ය සේවාව සඳහා අත්‍යාවශ්‍ය බවද පැවැසීය.
මාතෘ හා ළමා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්තිය ඉදිරියට ගෙන යාම මෙම නව වෘත්තිකයන්ගේ වගකීමක් බවද වෘත්තීය දියුණුව රටේ අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට විශාල ශක්තියක් වනු ඇති බවද අවධාරණය කරන ලදි.
ඩිප්ලෝමාධාරී වෘත්තිකයන්ගේ සේවාව ඇගයීමට ලක් කළ ඇමති එම සියළු වෘත්තිකයින් ජාතික සෞඛ්‍ය පද්ධතියේ “පෙරගමන්කරුවන්” ලෙස කටයුතු කරන බවද පෙන්වා දෙන ලදී.
ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තීය වගකීම පැහැදිලි කළ සෞඛ්‍ය ඇමති ඩිප්ලෝමාධාරීන් හුදෙක් සුදුසුකමක් පමණක් නොව, ජාතික වගකීමක් භාරගන්නා බවත්, එම වෘත්තිකයින් යහපත් විනයෙන්, නිහතමානීකමින් සහ කැපවීමෙන් යුතුව මහජනතාවට සේවය කළ යුතු බවද ගොඩනැගිලි හෝ පද්ධතිවලට පමණක් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යා නොහැකි බවද අවධාරණය කරන ලදී.
රජය විසින් සෞඛ්‍ය සේවාව නවීකරණය කරමින්, ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදෙමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සෑම පුරවැසියෙකුටම සමීප කරවීම සඳහා විශේෂ ආයෝජනයක් සිදු කරන බවත්, සෞඛ්‍ය පද්ධතිය නවීකරණය කිරීමේ සැළසුම්ස හගත වැඩපිළිවෙළ යටතේ අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීම, වෘත්තිකයින්ට ක්ෂේත්‍රයේ අඛණ්ඩ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම, දේශීය හා විදේශීය අත්දැකීම් හුවමාරු කරගැනීමට අවශ්‍ය පුහුණුව ලබාදීම අඛණ්ඩව සිදුකරන බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරීවල නියුතු පවුල් සෞඛ්‍ය සේවිකා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිකයින් සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙළ මෙම වසරේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් පැවසීය.
අද දින ඩිප්ලෝමා ලබාගන්නා ලද මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් යනු, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය නංවාලීමේ දී නිවාරණ සෞඛ්‍ය සේවාව යටතේ වාහක රෝග මර්ධනය කිරීමෙහිලා සුවිශාල කාර්යභාරයක් සිදු කරනු ලබන ක්ෂේත්‍ර ගත නිලධාරීන් පිරිසකි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය චන්දන ගජනායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ (ET&R) ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.එස්.පී රණසිංහ, ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයීය සභාවේ (Ceylon Medical College Council – CMCC) ලේඛකාධිකාරී මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ (Institute of Oral Health) වෛද්‍ය අධිකාරී වෛද්‍ය නෙපුල් ධර්මතිලක, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආර්.ඩබ්ලිව්.කේ.එම්. වීරසේකර, ශ්‍රී ලංකා යුද හමුදාවේ දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වෛද්‍ය අනෝජා වීරකෝන්, මහරගම දන්ත චිකිත්සක අභ්‍යාස විද්‍යායතනයේ විදුහල්පති වෛද්‍ය චම්පා සේනානායක ඇතුළු දන්ත ශල්‍ය වෛද්‍ය ජාතික සෞඛ්‍ය විද්‍යායතනය පුහුණු විද්‍යායතනවල විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරින් සහ ඩිප්ලෝමාධාරින් එක්ව සිටියහ.
















1
Saru News
















