පාසල තුළ යහපත් මනෝ සමාජීය පරිසරයක් නිර්මාණය කිරීමට අධ්‍යාපන පද්ධතියේ සියලුම නිලධාරීන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, දරුවෙකුට ආදරය, රැකවරණය ලබා දෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම සිය අරමුණ බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමති, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
ඇය මේ බව පැවසූවේ, ඊයේ (20) පැවති ශිෂ්‍ය උපදේශන, වෘත්තීය මාර්ගෝපදේශ විෂය රාමුව සහ මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම ඇතුළු පාසල් තුළ ශිෂ්‍ය උපදේශන, වෘත්තීය මාර්ගෝපදේශ ඒකක (C2 Centers) පිහිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
පාසල් සිසුන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වර්ධනය කරමින්, ගුණාත්මක වෘත්තීය මාවතකට එළඹීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, `රූම් ටු රීඩ් ශ්‍රී ලංකා’ (Room to Read, Sri Lanka) ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
එහිදී එළි දැක්වූ උපදේශන සහ මාර්ගෝපදේශන සංග්‍රහය යටතේ ශිෂ්‍ය උපදේශනය පිළිබඳ ධාරිතා සංවර්ධන මොඩියුලය, පාසල් උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ඒකක කළමනාකරණය පිළිබඳ අත්පොත සහ 21 වන සියවසට නිපුණතා අධ්‍යයන මොඩියුලය ලෙස උපදේශන ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම නංවාලීමට උපකාරී වන කෘති සම්පාදනය කර තිබිණි.
ඒ අනුව උපදේශන ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනන වැඩසටහන්, සිසුන් ගැටලුවලට පෙලඹීම වළක්වාලීම සඳහා වූ ක්‍රියාකාරකම් සහ ඒ සඳහා දෙමාපිය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වූ වැඩසටහන්ද සිදුකෙරේ.
මෙහිදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය දැක්වූ අදහස්,
“සමාජයක් වෙනස් කරන යහපත් පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපනය මගින් සිදුකරන ප්‍රධාන කාර්යයක්. එය එසේ කිරීමට අවශ්‍ය යහපත් හා ආරක්ෂිත පරිසරයක් පාසල් තුළ නිර්මාණය කිරීමේ වගකීම රජයක් ලෙස අප භාරගන්නවා. මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කරන්නේ වඩා සුරක්ෂිත ලෝකයක් තුළ සිසු දරුවන්ට සිය අනාගත සිහින කරා යාමට අවශ්‍ය මං පෙත් විවර කර දීමයි.”
මේ අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, රූම් ටු රීඩ් ශ්‍රී ලංකා ආයතනයේ දේශීය අධ්‍යක්ෂ කන්දයියා පත්මනාදන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ සිසු දරුවන් පිරිසක්ද සහභාගී වූහ.















4
Saru News
















