මාලදිවයින් මුහුදු සීමාව හරහා ගමන් කරන බහුදින ධීවර යාත්‍රා විසින් අනුගමනය කළ යුතු නව ක්‍රියා පටිපාටියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සදහන් කළේ, අරාබි මුහුදේ ධීවර කටයුතු සදහා පිටත්ව යන සහ ධීවර කටයුතු අවසානයේ යළි ගොඩබිම වෙත පැමිණෙන සියලුම බහුධින ධීවර යාත්‍රා මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය හරහා ගමන් කිරීමේ දී මෙම ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි.
මාලදිවයින් රජයේ නීතිරීතිවලට පටහැනිව එරට මුහුදු සීමාවට ඇතුලුවන යාත්‍රා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන අතර එම යාත්‍රා නිදහස් කිරීමට මාලදිවයින් බලධාරීන් විසින් අධික දඩ මුදලක් පනවනු ලබන බවද සඳහන් වෙයි.
මේ හේතුවෙන් එවැනි නීතිමය අවස්ථාවල දී මැදිහත්වීමට හෝ පෙනී සිටීමට ධීවර දෙපාර්තමේන්තුවට කිසිදු අවස්ථාවක හිමි නොවන බව සුසන්ත කහවත්ත මහතා සදහන් කරයි.
ඒ අනුව, මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වීමට අවම වශයෙන් පැය 96කට පෙර, නියමිත අයදුම්පත් පුරවා අදාළ විද්‍යුත් ලිපියනයන් වෙත යොමුකළ යුතුව තිබේ.
එමෙන්ම අයදුම්පත සමඟ යාත්‍රාවේ ලියාපදිංචි සහතිකය, පිටත්වීමේ පත්‍රිකාව, කාර්ය මණ්ඩල විස්තර, යාත්‍රාවේ ඡායාරූපයක් සහ ඇතුළු වන හා පිටවන ස්ථාන සහිත දළ සිතියමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධීවර සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම නීතිරීති උල්ලංඝනය කිරීමෙන් සිදුවන මූල්‍යමය හා වෘත්තීයමය හානි වළක්වා ගැනීමට සියලුම යාත්‍රා හිමිකරුවන් සහ ධීවරයින් වගබලා ගත යුතු බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.
Saru News
















