චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (24) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු නිලධාරීන් පැවසුවේ රුපියල් හතලිස් දෙලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් මෙලෙස නිලධාරීන් භාරයට ගත් බවය.
එම ගුවන් මගීන් දෙදෙනා මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකරගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සහ 53 හැවිරිදි වියේ පසුවන බංග්ලාදේශ ජාතික කුලී රැකියාවල නිරත වන කම්කරුවන් දෙදෙනෙකි.
චීන ජාතිකයෙකු විසින් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන කාම්බෝජය ඔස්සේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත රැගෙන විත් එතැන් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
පසුව එම දුම්වැටි තොගය ගුවන්තොටුපොළින් පිටකරගෙන යාම සඳහා මෙම බංග්ලාදේශ ජාතිකයින් වෙත භාරදී ඇති බව මූලික රේගු විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05ක් තුළ චීනයේ නිෂ්පාතික දුම්වැටි 28,400ක් අඩංගු දුම්වැටි කාටුන් 142ක් මෙහිදී රේගු භාරයට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙවුන් අත්අඩංගුවට තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරති.
Saru News
















