කෝප්, කෝපා කමිටුවලට සෘජු නීතිමය බලතල – Saru News | සිංහල

0
2

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් (COPE) කමිටුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා (COPA) කමිටුවට රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් සෘජුවම නීතිමය පියවර ගැනීම සඳහා පැමිණිලි කිරීමට නව බලතල හිමිවී තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව උදා වී ඇත්තේ, පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ ඒකමතික තීරණයකින් යුතුව ස්ථාවර නියෝග සඳහා ගෙන ආ නව සංශෝධන දෙකක් සම්මත වීමත් සමඟය.

මෙම නව නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක වීමට පෙර පැවති ක්‍රියාපටිපාටියට අනුව, අදාළ කමිටු විසින් සිදුකරන විමර්ශන වාර්තා පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වූ අතර, ඉදිරි පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තීරණයක් ලැබෙන තෙක් දිගු කාලයක් බලා සිටීමට සිදුවිය. එහෙත්, නව සංශෝධන මගින් එම කාල ප්‍රමාදය මුළුමනින්ම මගහැරී යන අතර, අදාළ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හෝ අල්ලස් කොමිසමට සෘජුවම කරුණු වාර්තා කර කඩිනම් නීතිමය පියවර ගැනීමේ මාවත දැන් විවර වී පවතී.

මෙම සංශෝධනයන්ට අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 119(4) යටතේ නව ඡේදයක් එක් කර ඇත. විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා නිරීක්ෂණය කිරීමේදී යම්කිසි බරපතල මූල්‍ය වංචාවක්, දූෂණයක් හෝ අල්ලස් ගැනීමක් සිදුවී ඇති බවට කමිටුව නිගමනය කරන්නේ නම්, ඊට එරෙහිව සෘජුවම ක්‍රියාත්මක වීමට මින් බලය ලැබේ. ඒ අනුව, අදාළ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කිරීමෙන් පසුව, පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබන කාලසීමාවක් තුළදී පොලිස්පතිට හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාව කෝපා කමිටුව සතු වේ.

මීට සමගාමීව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන ස්ථාවර නියෝග අංක 120(4) සඳහාද මෙවැනිම නව ඡේදයක් ඇතුළත් කරමින් කෝප් කමිටුවටද මෙම විශේෂ බලතල ලබා දී තිබේ. රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් විගණකාධිපති ලබාදෙන වාර්තා පරීක්ෂා කිරීමේදී ඉහත කී ආකාරයේ බරපතල දූෂණ හෝ මූල්‍ය අක්‍රමිකතා නිරීක්ෂණය වන්නේ නම්, කෝප් කමිටුවටද එම වාර්තා සභාගත කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම හෝ පොලිස්පති වෙත සෘජුවම කරුණු යොමු කරමින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කළ හැකිය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here