ලොවටම සාමය පතා වියට්නාම ජාතික පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ 13 නමක හා ආලෝකා සාම සුනඛයාගේ සහභාගීත්වයෙන් සිදුකරන “ඒහිපස්සිකෝ” සාම පාද යාත්‍රාව තවත් දින 2කින් (28 වැනිදා) ගංගාරාම විහාරස්ථානයෙන් අවසන් කිරීමට නියමිතය.
ගෙවුණු දින පහ පුරාම දැඩි අවුරශ්මියක් පැවතුණත් දහස් සංඛ්‍යාත පොදු ජනතාවක් ජාති ආගම් භේදයකින් තොරව සද්ධා සිත් පෙරදැරිව සුදුවතින් සැරසී, මඟ දෙපස රැඳී සිටි පිරිස් මාර්ගයේ කෙසෙල් කොළ අතුරමින් පාවඩ එළමින් සිය කෘතඥතාව පළ කර පාගමනේ යෙදෙන භික්ෂුන් වහන්සේලාට පුෂ්පෝපහාර දක්වමින් සිය බැතිමත්භාවයද පුදකරනු දක්නට ලැබිණි.
මේ සාම ගමනේ ඉතිරිව ඇති දින අතර ලබන අප්‍රේල් 28දා පෙ.ව.11.00ට කැලණි රජමහා විහාරස්ථානයේදී පාසල් ළමයින් හා විශ්වවිද්‍යාල සිසුන් සමඟ පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාව විශේෂිතය.
පසුව කැලණි විහාරයෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන නිදහස් චතුරස්‍රය දක්වා පැමිණීමට නියමිතව තිබේ.
28 වැනිදා ප.ව. 4.00ට නිදහස් චතුරස්රයේදී ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය උත්සවයක්ද පැවැත්වේ.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පඤ්ඤාකර හිමි ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධින් අංකුරය නිල වශයෙන් භාරදීමට නියමිතව ඇත.
නැවත ප.ව. 5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව.7.00 ට ගංගාරාම විහාරස්ථානයෙන් අවසන් කිරීමට නියමිතව තිබේ.
පාගමන අප්‍රේල් 27 වැනිදා යක්කල සිට කැලණි රජමහා විහාරය දක්වා පැමිණීමට නියමිතය.
මේ ගෙවුණ සාම පාගමනේ පෙරේදා (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයේ සිට තෝලංගමුව ජාතික පාසල දක්වා පැමිණෙන අතර කැමරා කාචයේ සටහන් වූ ඡායාරූප කිහිපයකි.
(ඡායා : කැළුම් ශිවන්ත | ශානිකා ජයසේකර)



























Saru News
















