NDB බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ හා පවුලේ අයගේ ගිනුම් විමර්ශනයට CIDය සැරසෙයි

0
2

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති මහා පරිමාන වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුලේ අයගේ සියලු බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊට අදාළව අධිකරණයට කරුණු වාර්තාකර නියෝග ලබා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලැසුම් කර ඇති බව පැවසේ.

අදාළ මූල්‍ය වංචාවට සම්බන්ධ එම ආයතනයේ සේවය කළ පිරිසක් එම මුදල් මූල්‍ය ආයතනවල හා බැංකුවල තැන්පත්කර ඇති බවට වන සැකය මත මෙය සිදු කිරීමට යන බවද වාර්තා වේ.

මේ අතර,  එම බැංකුවේ පොදු ලෙජර් ගිණුමට අන්තර්ජාලය හරහා රහසිගතව රිංගා රුපියල් මිලියන 380ක් වංචනිකව සොරා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාරගත ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවන් සිව් දෙනාගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන   මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (20) අවසර ලබා දුන්නේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන්නේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත ලහිරු හර්ෂණ, පැතුම් කොතලාවල, කෝසල තරංග හා මොහොමඩ් ඉන්හමුල් හෂාන් නැමැති බන්ධනාගාර ගත සැකකරුවන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර ලබා දුන්නේය. 

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් බැංකුව සතු මුදල් රුපියල් මිලියන 600 සොරා ගැනීමට තැත් කළ මෙම සැකකරුවන් තවදුරටත් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත යුතු බැවින් බන්ධනාගාරයට ගොස් අදාළ ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය. 

හොර බැංකු ගිනුම් 64ක්… කොල්ල කෑ මුදල් බයිනෑන්ස් ගිනුම්වල

ව්‍යාජ බැංකු ගිණුම් හැට හතරක් සම්බන්ධ කරගනිමින් සොරා ගත්තේ යැයි කියන රුපියල් මිලියන 380 ක් මුදල් බයිනෑන්ස් ගිණුම්වල තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත යුතු බවද වැඩිදුරටත් පැවසීය.

 බැංකු ගිණුම් හැට හතරක් හරහා බැංකුවේ පොදු ලෙජර් ගිණුමට  බැරවෙන මුදල්  තවත් බැංකු ගිණුම් සියයකට යොමු කර, එම බැංකු ගිණුම් සියයේ මුදල් මෙම සැකකරුවන් භාවිතා කළ බැංකු ගිණුම ඇතුළු  බැංකු ගිණුම් පහකට යොමු කිරීම හරහා මෙම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරේ.

බැංකුවේ ක්‍රියාත්මක ස්වයං ආරක්ෂක ගිණුම් නිරීක්ෂණ පරිගණක පද්ධතියේ දත්ත අනුව එකම ගිණුමකට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විටින් විට මුදල් තැන්පත් වීම් හා බැහැර කර ගැනීම් සිදුවන බවට අනාවරණය කරගත් බැංකුව අදාළ ගිණුම් අත්හිටුවා පැමිණිලි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 310 ක් නිරුපද්‍රිතව ආරක්ෂා කරගෙන ඇති මුත් මෙම සැකකරුවන් ගේ ගිණුම් වලට බැර වී ඇති  මුදල් වංචා කර ඇති බවත් රහස් පොලීසිය පැවසීය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීමට අවසර ලබාදෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here