ජනපති මුල් ගල තැබූ යාපනය ක්‍රීඩා පිටියේ වැඩ අත්හිටුවයි!

0
3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මුල් ගල තබා පසුගිය වසරේ වැඩ ආරම්භ කරන ලද උතුරේ ඉදිවන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු පරිසර අගැයීම් වාර්තාව නොමැති වීම හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට නියෝග කර තිබේ.

යාපනයේ ඉදිවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ, ඉදිකිරීම් සඳහා අවශ්‍ය පරිසර බලපෑම් අගැයීම් ලබා දී ඊට අනුමැතිය ලබා දෙන තෙක් දැනට ආරම්භ කර ඇති වැඩකටයුතු නවතා දමන ලෙස දැනුම් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතා කියා සිටී.

යාපනය, මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2025 වසරේ සැප්තැම්බර් 01 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේ ය.

එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය පසුගිය වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකි වනු ඇති බවට ඒම අවස්ථාවේදී ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ ය.

පරිසර බලපෑම් තක්සේරු වාර්තාව 

කෙසේ වෙතත්, එම ඉදිකිරීම් සඳහා අවශ්‍ය පාරිසරික අනුමැතිය මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගෙන නොමැති වීම හේතුවෙන් අදාළ ඉදිකිරීම් කටයුතු නවතා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සැකසීමට අවශ්‍ය උපදෙස් මීට දින කිහිපයකට ඉහතදී ලබා දුන් බව එම අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

“එන්වයර්මන්ට් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් එකක් කරන්න ටී.ආර්.ඕ. එක දීලා තියෙනවා. ඒ අනුමැතිය ගන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් කරන්න.”

“ගිය සතියේ වගේ අපිට ආරංචියක් ආවා වැඩ කරනවා කියලා. වැඩ කරනවා නම් කරන්න එපා කියලා යවලා තියෙන්නේ.”

පාරිසරික අගැයීම සිදුකිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති බව පැවසූ මහාචාර්ය තිලක් හේවාවසම්, ඒ අනුව උපරිම වසර දෙකක පමණ කාලයක් සඳහා එම අනුමැතිය වලංගු බවත් ඊට පෙර අදාළ අගැයීම සිදුකර පරිසර වාර්තාව අනුමැතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ යුතු බවත් පැවසීය.

එම පාරිසරික අගැයීම් වාර්තාව ලැබීමෙන් අනතුරුව එය සමාලෝචනය කර බලා එහි ගැටලුවක් නොමැති නම් ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා දෙන බව ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් බීබීසි සිංහල සේවයට පැවසීය.

‘නීතිවිරෝධී ලෙස තෙත් බිම් ගොඩ කිරීමක්’

යාපනය, මණ්ඩතිව් දූපතෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට තෝරාගෙන ඇති භූමිය සුවිශේෂී තෙත් බිමක් බව පෙන්වා දෙන පරිසරවේදී සජීව චාමිකර, ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් එය විනාශ වී යන බව පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාරිසරික අනුමැතියෙන් තොරව නීතිවිරෝධී ලෙස තෙත් බිම් පද්ධතිය ගොඩ කිරීම සහ කම්බි වැටවල් යොදා තෙත් බිම වෙන් කිරීම මේ වන විටත් සිදුකරමින් යන බව පෙබරවාරි 23 වන දා නිකුත් කරන ලද සජීව චාමිකරගේ අත්සනින් යුතු නිවේදනයේ සඳහන් කර තිබේ.

“මෙම ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට අමතරව ගොල්ෆ් ක්‍රීඩාංගණයක්, නිවාස හා හෝටල් සංකීර්ණයක් ඇතුළුව දැවැන්ත ක්‍රීඩා නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ සියල්ල සිදු වන විට තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් ම වැනසීම පමණක් නොව ඒ මත යාපනය කලපුවේ සුළුපන්න ධීවර කර්මාන්තය ද සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇති” බව එම නිවේදනයේ දැක්වේ.

සංක්‍රමණික පක්ෂීන්ට හා සුළුපන්න ධීවරයන්ටත් බලපෑම්

මණ්ඩතිව් දූපත කඩොලාන, ලවණ වගුරු බිම් හා කිවුල් දිය වගුරු බිම්වලින් සමන්විත තෙත් බිම් පද්ධතියක් බව පෙන්වා දෙන පරිසරවේදී සජීව චාමිකර, නේවාසික හා සංක්‍රමණික තෙත් බිම් ආශ්‍රිත පක්ෂි විශේෂවල විශාල ගහනයක් සිය ගොදුරු බිම ලෙස භාවිත කරන බව ද පවසයි.

එමෙන් ම, ලෝකයේ විවිධ තෙත් බිම් සංක්‍රමණික පක්ෂීන් යාපනය තෙත් බිම් පද්ධතිවලින් හඳුනාගෙන ඇති බවට ඒ සම්බන්ධව කරන ලද පර්යේෂණ වාර්තා ගෙන හැර දක්වමින් පරිසරිවේදීයා පෙන්වා දී තිබේ.

එමෙන් ම, යාපනය කලපුව මත්ස්‍යයන් හා ඉස්සන් මෙන් ම කකුළුවන් බෝවීම සිදුවන ප්‍රදේශයක් බැවින් සුළුපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ ජන ජීවිතයට හා ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

‘ක්‍රමවත්, යථාර්ථවාදී මෙන් ම ජනතාවාදී සංවර්ධන ක්‍රියාවලියක්’

2014 වසරේදී එක්සත් ජතීන්ගේ සංවර්ධන හා පරිසර වැඩසටහන්වල මූල්‍යමය ආධාර යටතේ යාපනය කලපුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව තිබූ බවත්, මෙතෙක් එසේ අභය භූමියක් ලෙස නම් නොකිරීමට හේතුව වසර ගණනක් තිස්සේ තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට පිඹුරුපත් සකසා තිබීම විය හැකි බවත් සජීව චාමිකර සැක පළ කරයි.

අක්කර 10කට වැඩි තෙත් බිමක් ගොඩකර සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු බවත්, එසේ නොකරීම නීතියෙන් දඬුවම් කළ හැකි වරදක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන් ම, හෙක්ටයාර් දෙකකට වැඩි තෙත් බිමක් ගොඩ කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි අගැයීමක් සිදුකර ඒ අනුමැතිය ද ලබා ගත යුතු බව සජීව චාමිකර පවසයි.

“මෙම කිසිදු අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයාගේ හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම් මත බව පෙනෙන්නට තිබේ. මෙය ඉදිරි සංවර්ධන කටයුතුවලදී ද සිදුවිය හැකි වැරදි පූර්වාදර්ශ ලබා දීමකි.”

ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ස්ථාපනය කිරීමේදී ශක්‍යතා අගැයීම් මත පදනම්ව පරිසරයට හා ජන ජීවිතයට බලපෑම් නොවන ස්ථාන තෝරාගෙන නිවැරදි පාරිසරික අනුමැතිය සහිතව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කළ යුතු බව සජීව චාමිකර සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

“පසුගිය ආණ්ඩුවල වැරදි සැලසුම් මත පරිසරය, ආර්ථිකය හා ජන දිවිය බිඳ වැටී ඇති ආකාරය අත්විඳින අප වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූයේ ක්‍රමවත්, යථාර්ථවාදී මෙන් ම ජනතාවාදී සංවර්ධන ක්‍රියාවලියක් බව අවසන් වශයෙන් අවධාරණය කරමු,” පරිසරවේදී සජීව චාමිකර වැඩිදුටත් සඳහන් කර තිබේ.

මූලාශ්‍රය – බීබීසී සිංහල

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here