රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් “කුෂ් ” සහ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.
ඒ අතර මෙම චීවරධාරීන් පිරිස මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන චීවරධාරියා ගම්පහ මීගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණි.
ත්‍රෛනිකායික මහනාහිමිවරු අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම ශාසන විරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් අදාළ නිකාය පාර්ශ්වයන් මගින් ඉදිරියේදී කරුණු සොයාබලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බවය.
තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණේ ඊයේ (25) රාත්‍රි 10.11ට පමණය.
අදාළ චීවරධාරීන්ගේ විවිධ වර්ණවලින් යුක්ත වූ එකම වර්ගයේ ගමන්මලු පරීක්ෂා කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පියවර ගත්තේ එම නිලධාරීන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුවය.
එහිදී අධ්‍යාපනික උපකරණ, රසකැවිලි සහ ආහාර අසුරා තිබූ එම ගමන්මලුවල සැකසූ ව්‍යාජ පතුල්වල සඟවා තිබූ “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය නිලධාරීන් සොයාගෙන තිබේ.
ඒ අනුව චීවරධාරීන් විසිදෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කටයුතු කළේය.
සෑම චීවරධාරියෙකුම සතුව තිබූ ගමන්මල්ලේ කිලෝග්‍රෑම් 5ක පමණ මත්ද්‍රව්‍ය පැකට්ටු ලෙස සඟවා තිබී ඇති අතර මුළු මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 112ක් බව පොලීසිය පවසයි.
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය යි.
එමෙන්ම චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.
මෙම පිරිස පසුගිය 22 වෙනිදා තායිලන්ත චාරිකාව සඳහා පිටත්වගොස් තිබූ අතර, එය සම්බන්ධීකරණය තිබුණේ ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරීන් තිදෙනෙකු විසිනි.
ඔවුන් සෙසු චීවරධාරීන් 19 දෙනා සම්බන්ධ කරගෙන ඇත්තේ ෆේස්බුක් හරහාය.
ඒ අතරින් පිරිසක් තායිලන්තයේදී ගිහි ස්වරූපයෙන් පෙනීසිටින ආකාරය ඔවුන්ගේ දුරකථනවල තිබූ ජායාරූප මගින් පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පිරිස අතරින් 21 දෙනෙකුම වයස අවුරුදු 30ට අඩු චීවරධාරීන් වන අතර ඔවුන් මෙරට විවිධ ප්‍රදේශවල විහාරවාසීව සිටිමින් උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් බවය.
අනෙක් චීවරධාරියා පිරිවෙනක ආචාර්යවරයෙකු බව වාර්තා වේ.
අත්අඩංගුවටගත් චීවරධාරීන්ගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් අනාවරණ කර ඇත්තේ මෙම සංචාරයේ ගුවන් ටිකට්පත් සහ කෑමබීම මෙන්ම නවාතැන් පහසුකම් නොමිලේ හිමිවූ බවය.
ඒ වෙනුවට අනුග්‍රාහකයින් විසින් ලබාදෙන, පාසල් සිසුන් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළත් ගමන් මලු මෙරටට රැගෙන එන ලෙස සම්බන්ධීකරණය කළ චීවරධාරීන් පැවසූ බවද ඔවුන් අනාවරණ කර තිබේ.
මේ අතර, තායිලන්ත සංචාරය සම්බන්ධීකරණය කළ චීවරධාරීන් තිදෙනා පසුගිය මාසයේදීත් චීවරධාරීන් 12 දෙනෙකු රැගෙන තායිලන්ත සංචාරයක නිරතව සිට ඇති අතර ලබන මාසයේ තවත් චීවරධාරීන් පිරිසක් සමග තායිලන්ත සංචාරයකට සැලසුම් කර තිබූ බවද පොලසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Saru News
















