මැදපෙරදිග යුද වාතාවරණය මධ්‍යයේ වුවත් පසුගිය මාර්තු මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,467ක අපනයන ආදායමක් උපයාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එම සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළේය.
එහිදී ඔහු පවසා සිටියේ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අ.ඩො. මිලියන 1,180ක්, සේවා අපනයනයෙන් අ.ඩො. මිලියන 286ක් ලෙස උපයාගැනීමට හැකිව ඇති බවය.
ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී 9%ක අපනයන වර්ධනයක් හිමිකරගෙන ඇති බව හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු හා සැසදීමේ මෙම වසරේ මාර්තු අපනයන ආදායම 5.2%කින් පහත වැටී ඇත.
මේ අතර පොල් ආශ්‍රිත, ඉලෙක්ට්‍රොනික් අංශය, ආහාරපාන, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ යනාදියෙන් කැපී පෙනෙන වර්ධනයක් ඉකුත් මාර්තු මාසයේ අත්කරගෙන තිබේ.
කලාප වශයෙන් ශ්‍රී ලංකාව ලතින් අමෙරිකානු රටවලට සිදුකළ අපනයන ආදායමේ අඩුවීමක් ඇති අතර, යුරෝපීය අප්‍රිකානු සහ ආසියානු රටවලවල කැපී පෙනෙන වර්ධනයක් ඉකුත් මාසයේ දී අත්කරගෙන ඇත.
කෙසේ නමුත් මැදපෙරදිග කලාපයට සිදුකළ අපනයන ආදායම 48%කින් මාර්තු මාසයේදී අඩුවී තිබේ.
මේ අතර ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාවට අ.ඩො. මිලියන 4,308ක අපනයන ආදායමක් හිමිකරගැනීමට හැකිවූ බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය ඉකුත් වසරේ මෙම කාලය හා සැසදීමේ 2%කට ආසන්න වර්ධනයක්ය.
මෙහිදී වෙළෙඳ භාණ්ඩ අපනයයෙන් අ.ඩො. 3,387ක් හා සේවා අපනයනයෙන් අ.ඩො. මිලියන 921ක ලෙස අදාල අපනයන ආදායම ලබාගෙන ඇත.
ඒ අනුව සමස්තයක් ලෙස මැදපෙරදිග යුද්ධය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවට අපනයන වර්ධනයක් ලබා ගැනීමට හැකිවීම ඉතා සුබවාදී පියවරක් බව ඔවුන් සඳහන් කරයි.
Saru News
















