2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනුකළ පැමිණිල්ල අද (23) කොළඹ දිසා අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරූල්ප්‍රගාසම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් IPL ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් දැනටමත් අවසන් වී ඇති නිසා මෙම ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යාමට සිය සේවාදායකයා අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අධිකරණය අනතුරුව එය නිෂ්ප්‍රභා කළේය.
Saru News












