ඖෂධ සැපයීම ස්ථාවර වෙමින් පවතින බවත් කිසිදු ඖෂධ හිඟයක් ඇතිවීමේ හැකියාවක් නැති බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඇතැම් ඖෂධවල හිඟයක් විටෙන් විට මතු වුවද, එයට විසඳුම් සොයමින් පවතින බවද පැවසූ අමාත්‍යවරයා යුද්ධය ආරම්භ වූ පසු ඖෂධ ආනයනකරුවන් සමග ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අවධාරණය කළේය.
මුදල් අමාත්‍යංශය පාර්ශවයෙන් ඖෂධ සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේ ප්‍රමාදය නිරාකරණය කර ඇතැයිද, ඖෂධ ලියාපදිංචි කිරීමේ කටයුතු ඉක්මන් කර ඇතැයිද, එස් පී සී එකේ ටෙන්ඩර් ක්‍රියාවලිය විධිමත් කර ඇතැයිද පැවසුවේය.
මේ වන විට ඖෂධ ලැබෙමින් පවතින බවත්, එය 100%ක් සම්පූර්ණ වීමට තව මාස කිහිපයක් ගතවෙනු ඇති බවද සඳහන් කළේය. ඖෂධ මිල සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්කළ බව පැවසූ අමාත්‍යවරයා එය තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයිද ඉන්ධන මිල උච්ඡාවචනය වීම සහ , ඩොලරයේ බලපෑමද ඖෂධ මිලට බලපාන බවද වැඩිදුරටත් පැවසුවේය.
ඖෂධ මිල තීරණය කිරීමේදී නිර්ණායකයන් පවතින බවද ඩොලර් මිල සහ පවතින තත්ත්වයන් හමුවේ මිල සංශෝධනයන් සිදුකළ හැකි බවට මතයන් පැවතියද ඒ සම්බන්ධයෙන් තවම අවසන් විසඳුමකට පැමිණ නැතැයිද අවධාරණය කළේය.
ඉල්ලීම් පිළිබදව සලකා බලමින් සිටින අතර වැදගත්ම දෙය වනුයේ ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩ සැපයීම බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් රජය මුදල් වියදම් කරන බවද අඛණ්ඩ සැපයුමට බාධා වන කරුණු සදහා පිළිතුරු ලබාදෙන බවද අවධාරණය කළේය.
බොරතෙල් බැරලයක මිල ඉහළ යාම මත හෝ විදුලි බිල ඉහළ යාම මත ඖෂධ වල මිල ඉහළ යාමක් මෙම අවස්ථාවේ සිදු නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Saru News
















