ශම්මි අයින් වුණත්, එරාන් පත් කරන්න බැහැ 

0
3

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයෙන් ශම්මි සිල්වා ඉවත්වුවද, ඒ සඳහා පිටස්තරයකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ ඉඩක් නොමැති බව වාර්තා වේ.

අදාළ ව්‍යවස්ථාවට අනුව ඊළඟට සිදු කළ හැක්කේ විධායක කමිටු රැස්වීමක් කැඳවා දැනට සිටින උප සභාපතිවරුන් දෙදෙනාගෙන් කෙනෙකු පත්කර ගැනීම බව පැවසේ.

මේවන විට එහි උප සභාපතිවරුන් ලෙස සිටින්නේ ජයන්ත ධර්මදාස හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් වෙති.

පසුගිය දිනවල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හා හිටපු අතුරුකමිටු සභාපතිවරයෙක් ජනාධිපතිවරයා මුණ ගැසී ඇති බවත්, ඒ අවස්ථාවේ ඔවුන් විසින් අතුරුකමිටුවක් පත් කිරීමට යෝජනාවක් කර ඇති බවත් පැවසේ.

එසේ අතුරුකමිටුවක් පත්කරන්නේ නම් එහි සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යවරයකු හා සජබ සාමාජිකයකු වන එරාන් වික්‍රමරත්න මහතාගේ නම යෝජනාවී ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලානයේදී අසාර්ථකවීමත් සමඟ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව හා නවක ක්‍රීඩකයන් පිරිසක් ශ්‍රී ලංකා පිලට ඇතුළු කර ගැනීමට ගත් උත්සාහයත් සමඟ ක්‍රිකට් පරිපාලනයට දැඩි ලෙස මාධ්‍ය ප්‍රහාර එල්ලවන්නට පටන්ගත් බව එහි නිලධාරීන්ගේ පොදු මතය වී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මෙසේ ප්‍රහාර එල්ල කරන පිරිස පිටුපස ප්‍රධාන ක්‍රීඩකයන් පාලනය කරනු ලබන කළමනාකරුවන්ද සිටින බවත් පැවසේ.

එසේම මේ ප්‍රහාර පිටුපස සිටි ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් පසුගිය සමයේ තරගවලදී දක්ෂතා නොදක්වා හිටි හැටියේ නිවාස හා මොටර් රථ මිලදී ගත් අය බවද පැවසේ.

මේ අතර, එරාන් වික්‍රමරත්න මහතා, ක්‍රිකට් අතුරු කමිටු සභාපති ධූරයකට පත් කරන්න යන බවට වූ ප්‍රවෘති තමාද දුටු බවත්, එසේවුවද, වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා තවමත් ඉන් ඉවත්වී නැතැයි ද, එරාන්ට එවැනි පත් කිරීමක් දී නැතැයිද, මේවා මාධ්‍ය ප්ලාන්ට් විය හැකි යැයිද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (22) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අතර, ශම්මි සිල්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවේ මීළඟ නඩු දිනය වන අප්‍රේල් 29 වැනිදා ඉල්ලා අස්වීමට නියමිතව ඇති බවදට කතා පැතිර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here