දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙසත්, පළාත් සභා වෙත මේ වනවිට සියලු ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අපදා හානි සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පළාත් මටටමින් සොයා බලන ලෙසත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Rebuilding Sri Lanka වැඩසටහනේ ක්‍රියාකාරකම් කඩිනම් කිරීම වෙනුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (21) පැවති සාකච්ඡාවේදී අගමැති මේ බව පැවසීය. අපදා සහන සහ වන්දි ලබාදීම් කඩිනම් කිරීමත්, අපදාවෙන් යටිතල පහසුකම්වල සිදු වූ හානි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සාකචඡාව පැවැත්විය.
දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානි වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති අතර 2026 වසර අවසන් වීමට පෙර අදාල සංවර්ධන කටයුතු සිදු කර අවසන් විය යුතු බවත්, හානි සඳහා වන වන්දිගෙවීම් ප්‍රමාද වීමට ප්‍රාදේශිය මට්ටමින් පවතින ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් මෙහිදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් ලබා දුන්නාය.
දිට්වා සුළිකුණිටුව නිසා සිදු වූ හානිවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 3.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත්, ඒ අනුව නිවාස හා සමාජ යටිතල පහසුකම්, කෘෂිකර්ම සහ පශු සම්පත්, ධිවර, කර්මාන්ත හා ජීවනෝපාය,වාරිමාර්ග ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් වන්දි ලබා දීමට මුදල් වෙන් කර ඇති බවත් මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්. ආර්.ඩී. අපොන්සු පැවසුවේය. 25,000 දීමනාව ලබා දීම මේ වන විට 99%ක් අවසන් කර ඇති අතර නැවත පදිංචිය සඳහා ලබා දෙන රුපියල් 50,000 දීමනාව ගෙවිම 95%ක් අවසන් බවද ඔහු පෙන්වා දුන්නේය. පූර්ණ හානි සිදු වූ නිවාස සහ අර්ධ හානි සිදු වූ නිවාස සඳහා වන වන්දි ගෙවීම් තවමත් සිදු වන අතර සුරක්ෂා මධ්‍යස්ථාන වසා දැමීම 99%ක් අවසන් කර ඇති බවද අවධාරණය කළේය.
මීට අමතරව ආපදාවට පත් පාසල් සිසුන් සඳහා රුපියල් 25,000ක් ලබා දීම, ආපදාවෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවීම, මව හෝ පියා අහිමි වූ දරුවන් සහ මව, පියා දෙදෙනාම අහිමි වූ දරුවන් සඳහා වන්දි ගෙවීම, අපදාවට ලක් වූ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වන්දි ගෙවීම, හානි වූ කෘෂිකර්මික කටයුතු සඳහා වන්දි ගෙවීම මෙන්ම අපදාවට පත් නිවාසවල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීම, නව නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් වෙන් කරගැනීම මෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබා ගැනීම කඩිනම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ.
ආපදාවට පත් පාසල්, රෝහල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රාදේශිය මට්ටමින් දත්ත නිවැරදිව ලබා ගැනීම කඩිනම් කිරීම සහ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති ආචාර්ය චන්දන අබයරත්න, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත බණ්ඩාර සහ අගමැති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.







1
Saru News
















