ජපානයේ සාමකාමී විදේශ ප්‍රතිපත්තියේ දැවැන්ත වෙනසක්

0
4

දශක ගණනාවක් පුරා ජපානය පනවා තිබූ අවි අපනයන සීමාවන් ලිහිල් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

මේ හරහා ලෝකයේ රටවල් රැසකට අවි ආයුධ අලෙවි කිරීමට ජපානයට දැන් අවස්ථාව උදා වී ඇත.

අද (21)  සිදුකළ මෙම නිවේදනය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය අනුගමනය කළ ‘සාමකාමී ආරක්ෂක ප්‍රතිපත්තියේ’ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

මෙතෙක් කලක් ජපානයට අවි අපනයනය කළ හැකි වූයේ සහන සේවා, ප්‍රවාහන, අනතුරු ඇඟවීම්, නිරීක්ෂණ සහ බිම් බෝම්බ ඉවත් කිරීම යන අංශ පහකට පමණි.

නමුත් නව තීරණයත් සමඟ එම සීමාවන් ඉවත් වන අතර, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු ආරක්ෂක ගිවිසුම් පවතින රටවල් 17කට මාරාන්තික අවි ආයුධ අලෙවි කිරීමට ජපානයට මින් ඉදිරියට හැකියාව ලැබෙනු ඇත.

“වර්තමානයේ පවතින දරුණු ආරක්ෂක පරිසරය හමුවේ කිසිදු රටකට තනිවම තම සාමය සහ ආරක්ෂාව තහවුරු කරගත නොහැකියි,” යනුවෙන් ජපන් අගමැතිනී සනයි තකයිචි සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, වසර 80ක් පුරා ජපානය අනුගමනය කළ සාමකාමී මූලධර්මවල කිසිදු වෙනසක් සිදු නොවන බවත්, අවි හුවමාරුවේදී දැඩි පරීක්ෂාවකට ලක් කරන බවත් ඇය අවධාරණය කර ඇත.

ජපානයේ මෙම පියවර පිළිබඳව චීනය සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත. ජපානය “නොසැලකිලිමත් ලෙස මිලිටරිකරණය” කරා යොමු වීම පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත.

දකුණු කොරියාවද මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්තිය කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට දායක වන අයුරින් මෙන්ම ඔවුන්ගේ ජීවගුණය ආරක්ෂා වන අයුරින් සිදුවිය යුතු බවයි.

1947 දී ලියැවුණු ජපාන ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මගින් ජාත්‍යන්තර ආරවුල් විසඳීම සඳහා යුද්ධය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. 

එහෙත් චීනය, රුසියාව සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ එම නීති වෙනස් විය යුතු බව පාලක පක්ෂයේ මතය වී ඇත.

මෙම නව නීති ප්‍රකාශයට පත් කරන ලද්දේ අමෙරිකාව සහ පිලිපීනය එක්ව පවත්වන වාර්ෂික යුද අභ්‍යාස සඳහා ජපාන ස්වයං ආරක්ෂක බලකාය පළමු වරට සක්‍රීය සටන්කරුවන් ලෙස එක්වන පසුබිමකය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here