ඩොලර් දෙසීය අසූහයක් වැනි ඉහළ මුදලකට ආණ්ඩුව විදේශීය ඉන්ධන සමාගමකින් ඩීසල් බැරලයක් මිලදී ගැනීමට කටයුතු කර තිබෙන නිසා ඉදිරියේදී ඩීසල් ලීටරයක මිල රුපියල් හත්සිය ඉක්මවා යනු ඇති බව හිටපු විදුලි බල සහ බලශක්ති ඇමැති, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කියයි.
ඩොලර් දෙසීය අසූහයක් වැනි මුදලකට ඩීසල් ලබාගන්නා විට සියයට දහ අටක බදු මුදලක් අයකරන බවත්, ලීටරයකට අමතර රුපියල් පනහක් ද මැදිහත්කරුවන්ට සියයට තුනක මුදලක් ද යන සියල්ල එක්වූ විට තෙල් ලීටරයක් රුපියල් හත්සීය ඉක්මවන තත්ත්වයකට පත්වන බවත් ඔහු කියා සිටී.
ඊයේ (20) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙලස පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටි පාඨලී චම්පික රණවක මෙසේ ද පැවසුවේය.
ටැෆිකියුරා (trafigura) කියන සමාගමෙන් තමා අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුව මේ ඩීසල් ගත්තේ. මේ සමාගමට නැව් තොග පහක් දීලා තියෙනවා ගේන්න කියල ඩීසල් ගන්න. මේකෙන් ප්‍රිමියම් එක තුනයි දශම අටට දුන්නේ අපට. තෙල් ගෙන්වන පුද්ගලගේ ලාභය රක්ෂණ ආවරණය ගමන් වියදම් එකතු වුණාම එයට තමා මේ ප්‍රිමියම් එක කියල කියන්නේ. මේ වන විට නැව් දෙකයි ආවේ තව තුනක් තාමත් ඇවිල්ල නැහැ. හදිසි අර්බුදකාරි තත්ත්වය හමුවේ තමයි මේ නැව් ආවේ නැත්තේ කියල දන්වල තියනවා. ඒ ටෙන්ඩරය අවලංගු කරාද නැද්ද, ඒ නැව් කවද්ද එන්නේ කියල තාම අපි දන්නේ නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ නිසා තරගකාරී නොවන ටෙන්ඩරයක් කැඳවල තියනවා ඩීසල් හා ගුවන් යානා ඉන්ධන ගේන්න. ඒ ටෙන්ඩරය ගන්නේ මෙන්න මේ කලින් ඩීසල් ගෙන්න බැහැ කියපු සමාගම තමයි. හදිසි තත්ත්වයක් යටතේ ඉන්ධන ගෙන්වන්න බැහැ කියල කියපු මේ ටැෆිකියුරා සමාගමට පසුව පුළුවන් වෙලා තියෙනවා ඩීසල් ගෙන්න. ඔවුන් හැබැයි කලින් කිව්වේ ප්‍රිමියම් එක තුනයි දශම අට කියලා. නමුත් මේ අලුත් ටෙන්ඩරයෙන් ඔවුන් ඉන්ධන ගෙන්වන්නේ සියයට හතලිස් අටක් වැනි ඉහළ ප්‍රිමියම් එකකට. ඩීසල් බැරල් දෙලක්ෂ හතළිස් අටදාහක් ගෙන්වන්නට නියමිතයි. මේ අනුව ඒ වගේම බැරල් හැටහතරදාහක් ගෙන්වන්න නියමිතයි ගුවන්යානා ඉන්ධන. මේ දෙකේම ප්‍රිමියම් එක සියයට හතලිස් අටක් වැනි ඉහළ ගණනකට. මෙතන වෙන්නේ මොකක්ද කියල හිතාගන්න පුළුවන්. යුද්ධය ස්වභාවය නිසා නෙමේ මේ වෙලා තියෙන්නේ. මේ කරන්නේ ප්‍රිමියම්වලින් කරන වංචාවක්. ජනාධිපති කියනවා කොහෙන් හරි තෙල් ගේනවා කියල. තෙල් ගේන්නේ මෙහෙමද එතකොට කියල අපට අහන්න වෙන්නේ.”
Saru News
















