බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරයේ අළු පෙරහන් ඉවත් කරලා ?

0
3

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු භාවිතා කිරීමට සිදුව ඇති තත්වයක් තුළ එම බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රයේ අළු පෙරහන් ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

එම බලාගාරයෙන් මින් පෙර නොදුටු විශාල සුදු පැහැති දුමාරයක් මේ වනවිට පිටවනු දැකගැනීමට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ (05) විකාශය වූ රූපවාහිනී වැඩසටහනකදී පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ දුම් පිටකරන වායු පෙරහන් ඉවත් කිරීමට සිදුව ඇති බවත් එහිදී දුමත් සමග පිටවන අළු (fly ash) ප්‍රමාණය දෙගුණයකිනුත් සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රමාණය සිව් ගුණයකිනුත් ඉහළ ගොස් ඇති බවයි.

“අපි ඊයෙ කිව්වා මේ ඇතිවෙලා තිබෙන අනතුරුදායක තත්වය පිළිබඳව. මොකද, රුසියාවෙන් කලින් අරන් ආපු ගල් අඟුරු පෙරේදා වෙනකල්ම භාවිතා කළා රාත්‍රී කාලයට. දවල් කාලයට දකුණු අප්‍රිකාවෙන් අරන් ආපු බාල ගල් අඟුරු පාවිච්චි කළා. ඒ කියන්නෙ අලුත් සැපයුම්කරුගේ ඒවා දවල්ට පාවිච්චි කළා. එතකොට යම් ආකාරයක සමතුලනයක් කරගන්න ලැබුණා, ඉංජිනේරුවෝ කල්පනා කරලා ඒක බැලන්ස් කරගත්තා. නමුත් රුසියානු ගල් අඟුරු පෙරේදා ඉවර වුණා. දැන් 100%ක් මේ අලුත් සැපයුම්කරුගේ ගල් අඟුරු දහනය කරන්නේ. මේ අලුත් ගල් අඟුරු නිසා වෙලා තියෙන පරිසර දූෂණය ගැන බැලුවොත් එහෙම, ෆ්ලයි ඈෂ් – ෆ්ලයි ඈෂ් කියලා කියන්නෙ දහනය වීමෙන් පස්සෙ පරිසරයට මුදාහැරෙන අළු ප්‍රමාණය – 102% කින් වැඩිවෙලා තියෙනවා. දෙගුණයකින් වැඩිවෙලා තියෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 61% කින්, නයිට්‍රිජන් ප්‍රමාණය 79% කින්, නොක්ස් 355% කින්, සල්ෆර් ඩයොක්සයිඩ් 452% කින් (හතර ගුණයකින්) වැඩිවෙලා තියෙනවා. එතකොට දැන් බාල ගල් අඟුරු දහනය කිරීම නිසා බලශක්තිය අඩුවෙන් නිෂ්පාදනය වෙනවා, ඒ නිසා මූල්‍යමය හානියක් වෙනවා, ඒ වගේම බලශක්තිය අඩුවෙන නිසා ඒ අඩුවෙන බලශක්තිය ලබාගැනීමට ඩීසල් විකල්පයට යන්න වෙනවා, ඒ සඳහා වැඩියෙන් ගෙවන්න වෙනවා කියලා මීට සතියකට කලින් අපි දැනගෙන හිටපු කතාවට අමතරව දැන් පරිසර දූෂණයේ ප්‍රශ්නය ආවා. ඊයෙ රාත්‍රියේ සහ අද නොරොච්චෝලේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුරු අභියෝගයක් තියෙනවා. ඊයෙ අපිට ඉංජිනේරු මහත්වරු කිව්වෙ අපි කොහොමහරි මේක කරගන්නම් කියලා. අපි ඇහුවා ඕගොල්ලන්ට මේක පාලනය කරගන්න පුළුවන්ද කියලා. ඔවුන් කිව්වා අපිට තියෙන්නෙ බාල ගල් අඟුරු, ඒවා බාල බව දැනගෙන අපේ යන්ත්‍ර ඒවා සමග ගලපලා අපි මේක කරගෙන යන්නම් කියලා. නමුත් අද අනතුරුදායක තත්වයට පත්වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් නොරොච්චෝලේ තියෙන පෙරහන් ඉවත් කරලා නිදහසේ වායු එළියට යන්න දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දහනය වුණාට පස්සෙ ෆිල්ටර්ස් හරහා මේ එළියට යන විෂ වායු පාලනය කරනවා. දැන් ඒ ආරක්ෂක විධිවිධාන සම්පූර්ණයෙන් අතහැරලා යන්න වෙන තැනට වැඩ සිද්ධවෙලා තියෙනවා”

The post බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරයේ අළු පෙරහන් ඉවත් කරලා ? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here