ජාතික මෙහෙවරේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලෝක සාමය වෙනුවෙන් කැපවන “ලෝක සාම පා ගමනට” උපහාරයක් ලෙස ශ්‍රී ලංකාවේ වනාන්තර ද්විත්වයක් රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව , මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහ මුලයාය වනාන්තරය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පදියගම්පැලැල්ල වනාන්තරය සාම චාරිකාව වෙනුවෙන්ම රක්ෂිත ලෙස නම් කරමින් අදාළ සන්නස මහා සංඝරත්නය වෙත ලබා දීම බෙලිගම්මන පුරාණ රජමහා විහාරස්ථානයේදී ඊයේ (24) සිදු කෙරිණි.
පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන “වනස්පති” ජාතික වැඩසටහන යටතේ රක්ෂිත බවට පත් කළ මෙම වනාන්තර ලෝක පාරිසරික සාමය උදෙසා වූ “ජීවමාන සන්නස් පත්‍රයක්” ලෙස පිළිගැන්වීම පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා විසින් සිදු කරන ලදි.
ගෝලීය වශයෙන් ගහකොළ, සතුන් සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ පණිවුඩය ලොව පුරා ප්‍රචලිත කිරීම මෙහි මූලික අරමුණයි.
සොබා දහමේ සාමය සහ මනුෂ්‍යත්වයේ සහජීවනය සංකේතවත් කරන මෙම නිර්මාණශීලී වැඩපිළිවෙළ, සාම පා ගමනේ නිරත වන්නන්ගේ කැපවීම අගයමින් සිදු කරන ලද සුවිශේෂී ජාතික හා ජාත්‍යන්තර මෙහෙවරක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
Saru News
















