‘සාගරිකාගේ’ පීලි පැනීම සිල්පර පිටින් යයි ද?

0
2

සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් කොන්ක්‍රීට් සිල්පරවලට හානි සිදුව ඇති අතර සිල්පරවල ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදු වූයේ ද යන්න පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවය.

එමෙන්ම මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් සිදුව ඇති හානිය මේ වන තෙක් තක්සේරු කර නොමැති බවත් මාර්ගයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කිව හැක්කේ බලවේග කට්ටලය ඉවත් කිරීමෙන් පසුව වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා,

”ද්විත්ව බලවේග කට්ටලයක් තමා හානියට ලක්වුණේ… සිදු වූ හානිය පිළිබඳව මේ වන තෙක් තක්සේරු කරලා නෑ.. මාර්ගයට වෙච්ච හානිය සහ බලවේග කට්ටලය අයින් කරලා තමා කියන්න පුළුවන් මේකෙන් කොච්චර හානියක් වෙලා තියෙනවද කියලා..  කොන්ක්‍රීට් සිල්පරවලට හානි වෙලා තියෙනවා.. සිල්පර බාල තත්ත්වයේ ඒවා කියලා කියන්න බෑ. අපි මේව ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ගන්න දේවල්.. දුම්රිය මාර්ගයේ හැමතැනම තියෙන්නේ ඒ සිල්පර කොට.. සිල්පර කොටවල ප්‍රශ්නයක් නිසා මේක වුණාද කියලා අපිට දැන්ම නිශ්චිතවම කියන්න බෑ.. අපි කමිටුවක් පත් කරලා තියෙනවා ඒකෙන් පස්සේ තමා නිශ්චිතවම තීරණයක් දෙන්න වෙන්නේ”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here