මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපති විසින් ගොනු කර ඇති නඩුව ජූනි මස 10 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ මෙම නඩුව අද (24) කැඳවනු ලැබූ අතර, එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට සමගාමී තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනු කර ඇති බව සඳහන් කර ඇත.
එම නඩුව සඳහා සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියම වී ඇති බැවින්, මෙම නඩුව සඳහාද සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට සිදු වනු ඇති බව රජයේ නීතිඥයා පෙන්වා දී තිබේ.
ඒ පිළිබඳ කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරු, නඩුව ජූනි මස 10 වැනිදා යළි කැඳවීමට නියම කර ඇත.
2009 මාර්තු 31 සහ 2013 දෙසැම්බර් 12 අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
නීතිපති විසින් ඔවුන්ට එරෙහිව අධිචෝදනා තුනක් යටතේ මෙම නඩුව පවරා ඇති බව සඳහන් වේ.
“ඩේසි ආච්චිගේ මැණික් මල්ල” සුප්‍රකට කතාව දිගහැරෙන්නේද මෙම විමර්ශනවලදී ලබාදී තිබූ කටඋත්තරයක් අනුවය.
0
Saru News















