ඉන්දීය උප ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක්

0
2

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) කොළඹදී පැවැත්විණි.

මෙහිදී දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව නායකයන් දෙපළගේ අවධානය යොමු ව ඇත.

අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා, මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවී සාකච්ඡා පැවැත්වීය.

තම සංචාරය අතරතුර උප ජනාධිපති රාධාක්‍රිෂ්ණන් මහතා ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවේ නායකයන් මෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලන නායකයන් සමඟ ද අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

එමෙන්ම කොළඹදී පැවැත්වෙන ප්‍රජා උත්සවයකදී ඔහු මෙරට වසන ඉන්දීය ප්‍රජාව ඇමතීමට නියමිත අතර, එහිදී ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ ඉන්දීය රජයේ ආධාර මත ඉදිකළ නිවාස, දෙමළ ප්‍රජාවට අයත් ප්‍රතිලාභීන් වෙත පිරිනැමීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සංකේතාත්මකව සිදු කිරීමට ද නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයකට අනුව, දෙරට අතර මෑතකදී සිදුවූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්වල අඛණ්ඩ පියවරක් ලෙස සිදුවන මෙම සංචාරය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සහස්‍ර ගණනාවක් පැරණි ශිෂ්ටාචාරමය සහ ජනතා සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here