නීති විරෝධී ගිනි අවි රැසක් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් චන්දන කත්‍රිආරච්චිගේ නිවස වටලන අවස්ථාව වනවිට ඔහුගේ බිරිඳ විදේශ ගත වී ඇති බව වාර්තා වේ.
ඇයගේ නමට ද ගිනි අවි තුනක් ලබා ගෙන තිබූ අතර, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් ඇතුළු අවි ආයුධ සඟවා ගෙන සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව වැටලීම් සිදු කර සියල්ල අත්තඩංගුවට ගනු ලැබීය.
2006දී පැවැත්වූ සමූපකාර ඡන්ද විමසීම් අවස්ථාවක නාම්පමුණුව ප්‍රදේශයේ දී සිදු කළ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් චන්දන කත්‍රිආරච්චි ප්‍රබල දේශපාලන මැදිහත් වීමකින් නීතිය අඩපණ කර තිබිණි. පානදුර මහාධිකරණය ඉදිරියේ එම නඩුව විභාග කර තිබූ අතර, විනිසුරු මාලනී ගුණරත්නට එල්ල කළ මරණීය තර්ජන නිසා එම නඩු විභාගය කොළඹ මහාධිකරණයට මාරු කරනු ලැබීය. ඉන් පසුව කොළඹ මහාධිකරණයේ දී ජූරි සභාවක් ඉදිරියේ විභාගය ආරම්භ කරන ලදී. එම ජූරි සභාවට ද මරණීය තර්ජන එල්ල කර තිබූ අතර, චන්දන කත්‍රිආරච්චිට අමතරව සිටි විත්තිකරුවන් සිව් දෙනාගෙන් නිහාල් සුරේෂ් නැමැත්තා අභිරහස් ලෙස ඝාතනය කර තිබිණි.
හිටපු නීතිපතිවරයෙකු වන මොහාන් පීරිස් යටතේ චන්දන කත්‍රිආරච්චිට එරෙහිව තිබූ මිනී මැරීමේ චෝදනා ඉල්ලා අස්කර ගෙන අයුතු ජන ඒකරාශී කිරීම් යටතේ පමණක් ඔහුට එරෙහිව නඩුව පවත්වා ගෙන යන ලදී. මෙවැනි අතීතයක් තිබූ මොහු අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.
0
Saru News
















