රජයේ හමුදා අවභාවිතා කර ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම ලාභ ඉපයූ සමුද්‍රීය ආරක්ෂණ සේවාව යළි නාවුක හමුදාවට පවරා දීමත් සමග පසුගිය මාස හතරකදී මෙහෙයුම් 323කින් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූ අටදහස් දෙසිය පනහක ($ 598,250) ආදායමක් රජයට උපයා දීමටද නාවික හමුදාව සමත් වී තිබේ.
ඒ බව සඳහන්ක රමින් අධ්‍යක්ෂක ජනරාල් (නාවික මෙහෙයුම්) රියර් අද්මිරාල් හර්ෂද සිල්වා පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි පැවැත් වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කරුණු අනාවරනය කරන ලදී.
මේ මාධ්‍ය සාකච්ඡාවත් සමග යළිත් සමුද්‍රීය ආරක්ෂණ සේවාව පිළිබඳවත් ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ කෙරුවාවන් පිළිබඳවත් සමාජයේ කතාබහට ලක්ව තිබේ. ඒ නිසා ලියුම්කරු මේ ගැන කළ සොයා බැලීමකදී තොරතුරු රැසක් අනාවරණය විය.
ඒ පිළිබඳ වන අනාවරණය පහතින් දැක්වේ,
“මොකක්ද මේ සමුද්‍රීය ආරක්ෂණ සේවාව?
2005- 2015 කාලයේදී වඩාත් දරුණු ලෙස සෝමාලියන් මුහුදු මංකොල්ලකරුවන්ගෙන් නෞකා වලට බලපෑම් එල්ල විය. ධීවර කටයුතු වල නිරත වූ සෝමාලියානු කණ්ඩායම්වලින් සැදුම්ලත් මෙම මුහුදු කොල්ලකරුවෝ අවි ආයුධ රැගෙන විත් මහ මුහුදේදී නෞකා ගමන් මග අසුරා එහි මගීන් ප්‍රාණ ඇපයට ගනිමින් මංකොල්ල කෑමට පුරුදුව සිටියහ. මෙම තර්ජනයන්ගෙන් ගැලවීමට නැව් සමාගම් තමන්ගේ නෞකාවල ආරක්ෂාවට අවි ආයුධ සහිත ආරක්ෂක කණ්ඩායම් යොදා ගැනීමට කටයුතු කළේය.
බොහෝ රටවල නෞකා සමාගම් විසින් කරන ලද ඉල්ලීම් අනුව ඔවුන්ගේ ආරක්ෂක කණ්ඩායම්වලට සේවා සැපයිමේ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් 2009 සැප්තැම්බර් මාසයේදී නාවික හමුදාව යටතේ සමුද්‍රීය ආරක්ෂණ සේවාව ආරම්භ කිරීමට මෙරට රජය කටයුතු කළේය. එම සේවාව සැපයීමේදී අත්‍යවශ්‍ය වූ ආයුධ ගබඩා කර තැබීමට ගබඩා පහසුකම්ද එකල ආරම්භ කළේය. මේ කාලයේදි මාසයකදී මෙහෙයුම් 1000ත් 1500ත් අතර ප්‍රමාණයක් සිදු කිරිමට ඔවුන්ට හැකි විය. එකල එක් මෙහෙයුමක් වෙනුවෙන් ඩොලර් 3000ත් 3500ත් අතර ආදායමක් ලැබණි. ඒ අනුව මසකදී විශාල විදේශ විනිමය ආදායමක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් විය.
මේ සේවාව පෞද්ගලික අංශයට ගියේ කොහොමද?
එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා 2012 වසරේදී නාවික හමුදා පනතට අනුව නාවික හමුදාවට ව්‍යාරවල නිරත වීමට නොහැකි බව පවසමින් එම සේවාව පෞද්ගලික අංශයට පවරා දීමට කටයුතු කළේය.
ඒ සඳහා රජ්‍ය සමාගමක් වන රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම අතර ගිවිසුම්ගතව නව හවුල් ව්‍යාපාරයක් ගොඩනැගුවේය. එහෙත් එහි වැඩි බලය ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම සතුවිය.
ඒ අනුව සමුද්‍රිය ආරක්ෂණ සේවාවෙන් ලද ආදායමෙන් වැඩි පංගුව ලබාගත්තේද ඔවුන් විසිනි.
මෙම සේවාව පෞද්ගලික අංශය වෙත පවරා දෙනු ලැබ තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ වීරෝධයද නොතකා බලහත්කාරයෙනි.
අවිආයුධ ප්‍රවාහනය හා ගබඩාකරණය පෞද්ගලික අංශයට කළ හැකිද?
අවි ආයුධ ප්‍රවාහනය හා ගබඩාකරණය පිළිබඳ බලය තිබෙන්නේ රජයේ ආරක්ෂක අංශ සතුවය. එනම් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය හැර වෙනත් කිසිවෙකුට ඒ සඳහා නීත්‍යානුකූල බලයක් නැත.
එසේ නම් ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම සමුද්‍රීය ආරක්ෂක සේවාව සැපයූවේ කෙසේද?
සමුද්‍රීය ආරක්ෂණ සේවාව ඇවන්ගාඩ් සමාගම සතුව තිබියදීත් එම සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිදි නෞකා වල සිට ගබඩා කරාත් ගබඩාවල සිට නෞකා කරාත් ආයුධ ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ නාවික හමුදාව විසින්මය.
යහපාලන ආණ්ඩු කාලයේ මොකද වුණේ?
2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යටතේ සමුද්‍රීය ආරක්ෂණ සේවාව යළි නාවික හමුදාවට පවරා දෙනු ලැබිය.
එහෙනම් කොහොමද එය යළි පෞද්ගලික අංශය සතු වුණේ?
2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් විය. සමුද්‍රීය ආරක්ෂණ සේවය 2012 දී පෞද්ගලික අංශයට පවරා දුන්නේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී ඔහු විසිනි. දැන් ඔහු ජනාධිපතිය. ජනාධිපති ලෙස මෙය හිතුවක්කාරීව පෞද්ගලික අංශයට පැවරීමට යාම නුවණට හුරු නොවන බව වටහා ගත් නිසාදෝ ඒ කාර්යය එකල ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කමල් ගුණරත්න මහතාට පැවරුවේය. ඔහුද ඒ කුණුගොඩ තමන්ගේ අතේ ගා නොගෙන ඒ පිළිබඳව සොයා බැලීමට තමන්ගේම අයගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළේය. ඉන්පසු එහි නිර්දේශ වලට මුවා වී 2021 දී නැවතත් එම සේවාව ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමට පවරා දුන්නේය. ඒ පෙර පරිදිම රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගම අතර ගිවිසුම් ගතවය. එම ගිවිසුමට අනුව ස්ථාපිත හවුල් ව්‍යාපාරයේ ද පෙර පරිදිම වැඩි බලය තිබුණේ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමටය. රක්නා ලංකා ආරක්ෂක ලංකා සමාගම තිබුණේ නමටය.
නාවික හමුදාවේ සේවාවට ගෙව්වාද?
මේ හවුල් ව්‍යාපාරය 2012 දී මුලින්ම ආරම්භ කරපු වෙලාවේ ලැබුණ ආදායමෙන් 28%ක් පමණ නාවික හමුදාවට ගෙවනු ලැබුවද මාස පහක් හයක් ගත වන විට එය 25%කටද ඉන්පසු විටින් විට 20%, 17% ආදී ලෙස ක්‍රමානුකූලව පහළ හෙලනු ලැබුවේ ගිවිසුම් කැලේට යවමිනි. 2021න් පසු එය15% දක්වා පහළට දැමුණි. නමුත් මොවුන්ගේ අවි ප්‍රවාහනයට හා ගබඩාවල ආරක්ෂාවට වෙනම පනහක හැටක පමණ පිරිසක් යෙදවීමට නාවික හමුදාවට සිදුවිය. එම වියදමවත් මේ ලබාදුන් සොච්චම් මුදලින් පියවා ගත නොහැකි බව අප කළ නිරීක්ෂණයේදී අනාවරණය විය.
රජයට තිබුණ ප්‍රතිලාභය කුමක්ද?
සැබවින්ම මෙම ගනුදෙනුවෙන් රජයට ලැබුණ දෙයක් නැත. මුල් අවස්ථාවේදී ලැබෙන ආදායමෙන් 12% ක් රාජ්‍ය සමාගමක් ලෙස මෙම හවුල් ව්‍යාපාරට සම්බන්ධ වූ රක්නා ආරක්ෂක ලංකා සමාගමට ගෙවනු ලැබුවද පසුව ක්‍රමයෙන් එය ඒක පාර්ශ්විකව වෙනස් කර නාවික හමුදාවට ආදායමෙන් 15% ක් ලබාදී ඉතිරි වන 85%න් 05%ක් පමණක් ඔවුන්ට ගෙවනු ලැබ තිබේ. එය සමස්ත ආදායමෙන් 3%ක් පමණ වන ඉතාමත් සොච්චම් මුදලකි.
නාවික හමුදාවට මේ සේවාව යළි පැවරුවේ කෙසේද? කුමක්ද නෛතික බලය?
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නාවික නොවන කාර්යයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන්ට වෙළඳ නෞකාවන්ට ආරක්‍ෂාව සපයන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත සේවා සැපයීම ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමේ බලය පසුගිය ඔක්තෝබර් 03 වැනිදා සිට අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පැවැරූ බවද පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යක්ෂක ජෙනරාල් නාවික මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂද සිල්වා මහතා පැවසීය.
එය සිදු කර තිබෙන්නේ 2025 ජුනි මාසයේදී කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුවය.
සමුද්‍රීය ආරක්‍ෂණ කටයුතු ස්වාධීනව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන භෞතික හා මානව සම්පත් බොහොමයක් නාවික හමුදාව සතුව මේ වන විටත් පවතින බවද ඒ නිසා අවම පිරිවැයකින් යුතුව එම කටයුතු සිදු කිරීම ඉදිරියේදී පුළුල් කිරීමට සූදානම් බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එහිදී පැවසීය.
මෙම වගකීම නාවික හමුදාවට පැවරීමෙන් පසු විදේශීය පෞද්ගලික ආරක්ෂක සමාගම් තිස් දෙකක් සමග ගිවිසුම් ගතවීමට හැකියාව ලැබුනු බවද එසේ නාවික හමුදාවේ සේවය ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවීමේ ප්‍රවණතාව වැඩිවී ඇති බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
නාවික හමුදාවට ව්‍යාපාරවල නිරත වීමේ බලයක් නැත්නම් කොහොමද මේ සේවාව සපයන්නේ?
නාවික හමුදා පනතට අනුව සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා විසින් පවරනු ලබන ඕනෑම රාජකාරියක් ඉටුකිරීමේ වගකීම ඔවුන්ට පැවරේ. එම වගන්තිය අනුව යමින් ජනාධිපතිවරයා මෙම කාර්යය නාවික හමුදාවට පවරා ඇති අතර එය වඩාත් විධිමත් කිරීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් බලය පවරා දී ඇත. ඒ නිසා මෙම කාර්යයෙහි නාවික හමුදාව නිරතවීම තවදුරටත් නිත්‍යානුකූල නොවන බවට කිසිවෙකුට තර්ක කළ නොහැක.
1
Saru News










