දූෂණය සහ ජාවාරම අවම කිරීමෙන් ගුණාත්මක ඖෂධ පාලන මිලට ලබාදීමට හැකි වුණා – ඇමැති නලින්ද ජයතිස්ස

0
2

සමහර බෙහෙත්වල මාෆියා පවතිනවා. අද පවතින මිල හෙට වෙනස් වෙනවා – මන්ත්‍රී අජිත් පී. පෙරේරා

දූෂණය සහ ජාවාරම් අවම කර ඇති බැවින් ඖෂධ මිල පාලනය කිරීම සහ ගුණාත්මක ඖෂධ ලබාදීමට ආණ්ඩුවට හැකිවූ බවත් එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීමද සිදු කළ බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ පෙරවරු 9.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ නියෝග සම්මත කිරීමට විවාදය ආරම්භ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වෛද්‍ය නිෂාන්ත සමරවීර මහතා – ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ඖෂධ ආනයනය හා සුවඳ විලවුන් සම්බන්ධයෙන් පවතින පනත මේකයි. මෙය 2015 සිටයි බලාත්මක වූයේ. පසුගිය කාලය ඇතුලත මෙරට ජන සමාජයට, ඖෂධ සපයාගැනීමේ බරපතල ගැටළු ගණනාවක් අපි අත්දැක තිබෙනවා. තමන්ට අවශ්‍ය ඖෂධ නිසිකලට, නිසිවේලාවට සපයාගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. මේවාට අයත් සියළුම නියාමනයන්ට අයත් ආයතනය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ලංකාවට ආනයනය කරන ඖෂධ ලියාපදිංචි කිරීම් කරන්නේ මේ ආයතනය විසින්. අයැදුම්පත් කැඳවානිරීක්ෂණ කටයුතු සිදු කොට, ගුණාත්මකභාවයන් යන සියල්ල අධ්‍යනය කරලා, වෙනත් රටවල්වලින් නිකුත් කළ වාර්තා පවා සැලකිල්ලට ගෙන විශාල අධ්‍යනයකින් පසුව තමයි, ලංකාවට ඖෂධයක් ආනයනය කරන්නේ, මේ සඳහා දින 300ක පමණ කාලයක් යනවා. විවිධ නාමයන්ගෙන් එකම ඖෂධය ගෙන්වනවා. අන්න එතෙනදී එම ඖෂධයට අදාළව උපරිම සිල්ලර මිලක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා පසුගිය කාලයේ කමිටු හදලා තිබුණා. නමුත් ඊට නිශ්චිත ක්‍රමවේදයක් හදලා තිබුනේ නෑ. ඒනිසා මිල නියමකිරීමේක්‍රියාවලිය ගැටළු සහගත වෙලායි තිබුනේ. එම නිසා මිල නියම කිරීමේ කටයුතුවලට යම් නීතිමය බාධා මතුවී තිබුණා. එය අභියෝගයට ලක්වෙලා තිබුනේ. දැන් ඖෂධවල මිල නියම කිරීමේදී ඊට වුවමනා කෙරෙන ශක්තිය ලබාදීමයි අද දවසේ මේ කෙරෙන්නේ. ඖෂධීය නාමයට අදාළව ගෙන්වන ඖෂධ සහ විවිධ නම් මගින් ගෙන්වනු ලබන ඖෂධ සඳහා යන දෙවර්ගය සඳහාම මෙමගින් උපරිම මිල තීරණය කිරීම සිදු කරනවා. එය අත්‍යවශ්‍යව තිබූ දෙයක්. අපි මේ මගින් රෝහල් පද්ධතියට සහ සමස්ත ජාලයටම අවශ්‍ය ඖෂධ අඩු මිලට සැපයීමට බලාපොරොත්තු වෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා – රජයක් ලෙස අපේ වගකීම තමයි ජනතාවට ආරක්ෂිත ලෙස ඖෂධ අඛණ්ඩව අඩුවකින් තොරව සැපයීම සහ ඖෂධ සාධාරණ මිල ගණන්වලට සැපයීම සඳහා මැදිහත්වීම. 2005 දරණ ජාතික ඖෂධ අධිකාරී පනත මගින් ඖෂධවල ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් සහ මිල නියාමනය කිරීමට බලය පැවරෙනවා. පනත ඉදිරිපත් කර වසර කීහිපයකට පසුව මිල නියම කිරීමේ කමිටුවක් එවකට සිටි ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබුණා. එම කමිටුවේ වත්මන් සභාපති ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් කටයුතු කරනවා. ඔහු අපේ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක්. ඒ වගේම ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේෂකවරයෙක් ලෙසත් කටයුතු කරනවා. මේ පනත සම්මත කළ පසුව අවස්ථා කීහිපයකදී, හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඖෂධ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන කීහිපයක් පළ කර තිබුණා. වරෙක ඖෂධ 48ක් ලෙසත් පසුව සියල්ල ගත් විට ඖෂධ 60ක් සඳහා මිල නියම කිරීම සිදු කර තිබුණා. අපේ රටට ඖෂධ ආනයනය කරන්නන් විසින් මෙම මිල නියම කිරීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තා. 2019දී ඒ අය කිව්වේ ජාතික ඖෂධ අධිකාරියට මිල නියම කිරීමේ බලයක් නෑ කියලා. ඊට අතුරු තහනම් නියෝගයක් බලාපොරොත්තු වුණත් එලෙස කිරීමක් සිදු නොවූ බැවින් යම් අවස්ථාවල ඖෂධ කීහිපයක මිල නියම කිරීම් සිදු වුණා. ඒ අනුව අවස්ථා හතරකදී උපරිම සිල්ලර මිලක් නියම කිරීම් සිද්ධ වුණා. පසුව අර ඖෂධ ගෙන්වන්නන් විසින් අධිකරණයේදී කිව්වා කමිටුවක් නැති නිසා මිල පාලනය කිරීමේ බලයක් ජාතික ඖෂධ අධිකාරියට නෑ කියලා. ඒ සම්බන්ධයෙන් ඇති වූ කරුණු සම්බන්ධයෙන් සලකා බලා අපි ගැසට් නිවේදනයක් නිකුත් කළා අපේ රටේ ඖෂධ මිල පාලනය කිරීම සම්බන්ධයෙන්. මෙතනදී අපි ඖෂධ සම්බන්ධයෙන් මිල නියම කිරීමේදී මිල දෙකක් නියම කරනවා. එකක් උපරිම සිල්ලර මිල. ඒ සඳහා මිල සූත්‍රයක් තිබෙනවා. එහිදී සීඅයිඑෆ් අගය, නිෂ්පාදන බදු, එකතු කළ අගය මත ලාභය ආදායම සලකා බලනවා. මෙය හදන්නේ තනි තනි නිෂ්පාදනයට. ඒ වගේම තවත් මිලක් තිබෙනවා

ඖධෂයක උපරිම සීමා මිල. එහිදී ඒ ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධ වර්ගවල වෙළෙඳපොළේ සියයට 85ක් පමණ ආවරණය වන තත්ත්වය සලකා ඒ මිලේ මධ්‍යන්‍ය තමයි ගන්නේ. මේ මිල ගණන්වලට යටත්ව තමයි යම් ඖෂධයක් නිෂ්පාදනය කරනු ලබන්නේ. මේ හා බැඳුණු ක්‍රියාවලියක් තිබෙනවා. එහි වාසිය අපේ රටේ ජනතාවට ලැබිය හැකියි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා (න.ප්‍ර.පෙ.) – ඖෂධයක් ගන්නේ නැතිව මරණයට පත් වූ ජනතාව බොහෝ සංඛ්‍යාවක් තිබෙනවා. පැනඩෝල් පෙත්ත, දියවැඩියා පෙත්ත ගන්න බැරිව රෝගීන් මරණයට පත්ව තිබෙන බවට අපි අසා තිබෙනවා. ඖෂධ හිඟය නැති කරගැනීම සහ ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ලබාදීම මේ සංශෝධනයෙන් බලාපොරොත්තු වෙනවා.ලෝකයේ වැඩිම ආදායම් ලබන ව්‍යාපාරයක් විදියට ඖෂධ ව්‍යාපාරය හඳුන්වන්න පුළුවන්. අඩුපාඩු මඟ හරවාගැනීම අපේ වගකීමක්. ඖෂධ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. කාර්වල වීදුරුවේ තනතුරු සඳහන් නොකළ යුතු බවට මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් පසුගියදා ප්‍රකාශ කළා. වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ඔවුන්ගේ වෘත්තිය වාහනයේ ගසාගෙන යෑමට නොහැකි බවට රජය ප්‍රකාශ කළා. එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කියලත් නම ගහන්න බැහැ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා (සජබ) – සමහර රෝහල්වල නිසි වැසිකිළි පහසුකම් නෑ. සමහර බෙහෙත්වල මාෆියා පවතිනවා. අද පවතින මිල හෙට වෙනස් වෙනවා.

පත්කළ මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ (ජා.ජ.බ.)

නිදන්ගත රෝගීන්ට හදිසි අනතුරු ආපදාවන්ට ලක්වන්නන්ට ඖෂධ නිතර මිලදී ගන්න වෙනවා. ඖෂධ මිල සාධාරණ වීම විශේෂයෙන් වැදගත්. ඒ වගේම ගුණාත්මකභාවය අත්‍යවශ්‍යයි. මේ ගැසට්පත්‍රය නිසා සාධාරණ මිලක් ඇති වෙනවා.

අපිට ඖෂධවලින් සියයට 85ක් එන්නේ පිටරටින්. රජයේ රෝහල්වල එය සියයට 65ක්. දේශීයව සියයට 35යි. ඉන්දියාවෙන් සියයට 10ක්, ඇමරිකාවෙන් සියයට 16ක් පමණ ආනයනය වෙනවා. පුද්ගලික සැපයුම්කරුවන් මේවා ගෙන්වන්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක

සෞඛ්‍ය සේවාව තුළ හොඳම තීන්දු තීරණ ගන්න රටක් ලෙසත් මැලේරියාව තුරන් කළ රටක් ලෙසත් 2016දී ලංකාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වුණා. 2022 රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය තුළ සෞඛයටත් බලපෑම් ඇති වුණා. රෝහල්වල අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධවල බරපතළ හිඟයක් ඇති වුණා. ඒ අර්බුදය භාවිතා කරමින් අහිංසක ජනතාවගේ බෙහෙත්, පොත්පත් පවා ගසාකෑමට ලක්වුණා. බලවත් උදවිය පවා පහත් තත්ත්වයට පත්වුණු බව දැන් පේනවා. ඒ අර්බුදය තවමත් සුව වී නෑ. වෛද්‍ය උපකරණ වගේම ඖෂධ වර්ගවල හිඟයක් අදත් පවතිනවා.

ඖෂධ කාණ්ඩ 100ක ප්‍රමාණයක හිඟයක් ඇති බව වාර්තා වෙනවා. ජීවිතාරක්ෂක ඖෂධත් ඒ අතර තිබෙනවා. ජාතික රෝහලේ එම්.ආර්.අයි. යන්ත්‍ර 3ක් කැඩිලා. මේ තත්ත්වය නිසා රෝගීන්ට බලපෑමක් එල්ල කරනවා. රුධිර කාන්දුකරණයට යොදා ගන්නා කටුවල බරපතළ හිඟයක් පවතිනවා. ඒ රෝගීන්ට ඇඳන් පහසුකම් නෑ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ (ශ්‍රී ලපාපෙ)

මේ වනවිටත් රෝහල්වල ඖෂධ 60ක හිඟයක් පවතිනවා. රෝහල්වල උපකරණ හා ඖෂධ හිඟය නිසා රෝගීන් දැඩි ගැටලු රැසකට මුහුණ දීලා. වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟ තිබෙනවා. සැත්කම්වලට අදාළ දින කතා කරන්න කල්පගණන් රැඳී සිටීමට රෝගීන්ට සිදුවීම නිසා ගෙවල් දොරවල් උකසට තියලා පුද්ගලික රෝහල්වලින් සැත්කම් කරන්න වෙලා. බාහිර රෝගී අංශය තුළ විශාල තද බද පවතිනවා. කරාපිටිය රෝහල විශේෂයි. මේ ආණ්ඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සත්‍යවාදි ගමනක් යයි කියලා හිතුවත් අදටත් අර්බුද පිරිලා. යහපත් දිශාවක් නෑ. ගෝඨාභය රජය සමයේ දේශීයව ඖෂධ නිෂ්පාදනය සියයට 16 සිට 25 දක්වා වැඩි කළා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

ඖෂධ මිල තීරණය කිරීමේදී ආනයනකරුවන්ට වගේම පාරිභෝගිකයාට අසාධාරණ නොවන පරිදි සිදුකළ යුතුයි. මේ තුළින් පාරිභෝගිකයාට සාධාරණ වන බව ඇමැති කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම අනෙක් සංවිධානවල මාර්ගෝපදේශ හා උපදෙස් ගැන අවධානය යොමු කරන්න. සුවසැරිය වෙනසක් කරන්නේ නෑ කියලා ඇමැති කියනවා. ඒත් නියෝජ්‍ය ඇමැති වරයෙක් කියනවා සුවසැරිය වෙනසකට භාජනය කළ යුතු බවට. එය ඉතා වැදගත් ව්‍යාපෘතියක්. එය තවත් ශක්තිමත් විය යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා (සජබ)

යහපාලන රජය ගැන අඩුපාඩු ගැන කතා කළත් ඒ රජය අපට සතුටු වෙන්න පුළුවන් අදට වත්මන් රජයට අවශ්‍ය පුළුල් නීතියක් එදා ස්ථාපනය කළා. ඒ පනතට තමයි මේ රෙගුලාසි පැනවෙන්නේ. ඊට දායක වීමට හැකිවීම ගැන සතුටුයි. බෙහෙත්වල ගුණාත්මක භාවය ගැන විශේෂයෙන් සලකා බැලිය යුතුයි. එකම ඖෂධය නිෂ්පාදිත රට අනුව ගුණාත්මකභාවය වෙනස් වෙනවා. වෛද්‍යවරුන් මේ ගැන දන්නවා. ගුණාත්මකභාවය වැඩි කිරීමට රෙගුලාසි තව පැනවීමත් පසු විපරම් කිරීමත් පහසුකම් වැඩි කිරීමත් වැදගත්.

ඖෂධ හිඟය අද දැඩිව පවතිනවා. නිදහස් සෞඛ්‍ය අයිතිය අපි දිනාගත් අයිතියක්. ඉකුත් 76 වසරේ අපි දිනාගත් අයිතියක්.

විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිශාන්ත අබේසිංහ

සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගැන කිය කියා අපේ රටේ තිබුණු දේශපාලන ව්‍යාපාර ඊට විරුද්ධවයි ක්‍රියා කළේ. අපේ රටේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කොයි තරම් දූෂණවල යෙදිලාද? තව සෞඛ්‍ය ඇමැතිවරු මෙලෙස ක්‍රියා කර තිබෙනවා. ඔවුන් හැම පක්ෂයකටම ගිහින් තියෙනවා. කිසිම ප්‍රතිපත්තියක් තිබී නෑ. 2022 දී තමයි අපේ සෞඛ්‍ය සේවය අභාවයට ගියේ. ජාවාරම්කරුවන්ට ඕන විදිහට පාලකයන් ක්‍රියා කළා. අපි ඉහළම මිලක් දාන්නේ හැම දෙයක් ගැනම බලලයි. මෙය හොඳ නියෝගයක්.

පාර්ලිමේන්තුව යළි අද (22දා) පෙරවරු 9.30ට රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

ඇමැති උත්තර

ගුරු පුරප්පාඩු 36,178ක් තියෙනවා – අගමැතිනි හරිනි

මේ වන විට ජාතික සහ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළාය.

ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 1,501ක් ඇති අතර පළාත් වශයෙන් බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630 ක්ද, දකුණ 2,513ක්ද, මධ්‍යම 6,318ක්ද වශයෙන් ඇති බවද අගමැතිවරිය සඳහන් කළාය. එමෙන්ම වයඹ 2,990ක්ද, ඌව 2,780ක්ද උතුරු මැද 1,568 ක්ද, නැගෙනහිර 6,613ක්ද, සබරගමුව 3,994ක්ද සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271 ක්ද වශයෙන් වාර්තාවී ඇති බවද අගමැතිවරිය අනාවරණය කළාය.

අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර දිනයකදී ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය

සඳහන් කළේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අඛණ්ඩ විෂයන් සඳහා මෙන්ම අපොස උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර ඇති බවයි. එමෙන්මගුරු සේවයේ තුන්වන (ආ) 1ශ්‍රේණියට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353 ක් ඉදිරි මාස දෙක තුළ බඳවාගැනීමට නියමිත බවද අගමැතිවරිය සඳහන් කළාය.

ගුරු සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද අගමැතිවරිය වැඩිදුරටත් කියා සිටියාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

බන්ධනාගාරවල සිරකරුවන් 35,000 කට වැඩි ඉන්නවා – ඇමැති හර්ෂණ

රට පුරා බන්ධනාගාරවල සිරකරුවන් 35,000 කට වැඩි පිරිසක් රඳවා සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

බන්ධනාගාරවල රඳවා තැබීමට හැකි සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් බන්ධනාගාර පද්ධතිය තුළ සිටින අතර මෙම තත්ත්වය කළමණාකරනය කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් අනුගමණය කරන බවද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙසේද පැවසීය. වැලිකඩ බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ පළමු බන්ධනාගාරයයි. එය 1844 දී ඉදිකරන ලදී. දැනට රට පුරා ක්‍රියාත්මක වන බන්ධනාගාර සංඛ්‍යාව 28 ක්. දැනට එම බන්ධනාගාරවල පුද්ගලයින් 35,216 ක් රඳවා ඇත. බන්ධනාගාරවල සිරකරුවන් 10,000 ක් දක්වා පමණක් රඳවා ගත හැකි වුවද, ඊට වඩා විශාල සිරකරුවන් සංඛ්‍යාවක් රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාරවල රඳවා සිටිනවා. ඒ වගේම බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටළු කළමණාකරනය කරමින්, නව ගොඩනැගිලි ඉදිකිරීමට සහ සමහර අධිකරණ වෙනත් ස්ථානවලට ගෙන යාමට පියවර ගනිමින් සිටිනවා. විවිධ බන්ධනාගාරවල සිරකරුවන් විශාල සංඛ්‍යාවක් රඳවා තබාගැනීම නිසා සෞඛ්‍ය ගැටලු‍ද මතුවෙමින් පවතිනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here