මහ බැංකුවෙන් හැකරු ගත් මුදල් යළි අය කරගත හැකියි

0
3

ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් සයිබර් ප්‍රහාරයක් මඟින් අනවසර ගිණුමකට බැරවීමේ සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන විධිමත් විමර්ශනයකින් හා ජාත්‍යන්තර සහයෝගීතාව ඔස්සේ අදාළ මුදල් යළි ලබාගැනීමට සුබවාදී බලාපොරොත්තුවක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පවසයි.

විවිධ රටවල් අතර පවතින සයිබර් ආරක්ෂණ සබඳතා මඟින් මෙවැනි මහා පරිමාණ වංචාවලදී අහිමි වන මුදල් යථා තත්ත්වයට පත් කරගැනීමට කටයුතු කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) හා පොලීසිය ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

මෙය ‘Business Email Compromise‘ (BEC) හෙවත් ආයතනික විද්‍යුත් තැපැල් ගිණුමකට අනවසරයෙන් ප්‍රවේශ වී සිදු කරන ලද වංචාවක් ලෙස හඳුනාගත හැකි බව ද චරුක දමුණුපොළ මහතා පවසයි. 

මෙහිදී වංචාකරුවන් ආයතනයේ උසස් නිලධාරීන් හෝ විශ්වාසවන්ත සැපයුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම මුදල් ලබාගෙන ඇති බවට සැක කෙරේ. මෙම සිදුවීමට අදාළව දැනට ක්‍රියාත්මක වන පොලිස් විමර්ශන සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සූදානමින් සිටියි.

විශේෂයෙන්ම, මෙම වංචාව සිදු කිරීමට භාවිත කළ තාක්ෂණික ක්‍රමවේද හා දත්ත විශ්ලේෂණය සඳහා එම සංසදයේ විශේෂඥ සහය ලබාදෙනු ඇතැයිද ඔහු කීය. මෙම මුදල් විදේශීය රටවල් කිහිපයක් හරහා හුවමාරු වී ඇති බවට විශ්වාස කෙරෙන බැවින්, විමර්ශන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු පැවසීය. මේ සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සහය ලබාගැනීමට නියමිතය. අනෙකුත් රටවල ක්‍රියාත්මක වන පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සමඟ ද ශ්‍රී ලංකා CERT ආයතනය සමීපව කටයුතු කරමින් සිටියි.

මෙවැනි සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නිලධාරීන් මීට වඩා අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවට ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.

📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here