පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයේ උසස් නිලධාරිනියකගේ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට නියෝග කර ඇතැයි වාර්තා වේ.
ඇයගේ මෙම ස්ථාන මාරුවීම අත්හිටුවන ලෙස අල්ලස් කොමිසම නියෝග කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයේ ඇය ප්‍රධාන වැදගත් සාක්ෂිකාරියක බැවින් බවද පැවසේ.
නිලධාරිනිය පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහජන පෙත්සම් කාරක සභාවට මෙසේ මාරු කෙරිණ.
විමර්ශන කටයුතු අවසන් වනතෙක් ඇයගේ ස්ථාන මාරුවීම අත්හිටුවන ලෙස අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම්දී ඇතැයි ද පැවසේ.
වැඩ තහනමට ලක් කෙරුණු නියෝජ්‍ය මහ ලේකම්වරයා සම්බන්ධ පැමිණිල්ල මෙන්ම හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා කතානායකවරයාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.
දූෂණ චෝදනා කිහිපයක් පදනම් කරගෙන හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල කර තිබේ.
මූලාශ්‍රය – ලංකාදීප
Saru News
















