දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම අරමුණයි – අගමැතිනිය

0
4

දරුවෙකුට ආදරය හා රැකවරණය ලබා දෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම තම අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අද (20) පැවැති වැඩසටහනක සමාරම්භක උත්සවයට එක්වෙමින් ඇය සඳහන් කළේ, පාසල් තුළ යහපත් මනෝ සමාජීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන පද්ධතියේ සියලුම නිලධාරීන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

පාසල් සිසුන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වර්ධනය කරමින් ඔවුන්ට ගුණාත්මක වෘත්තීය මාවතකට යොමු වීමට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ රූම් ටු රීඩ් ශ්‍රී ලංකා ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

මෙම අවස්ථාවේදී ශිෂ්‍ය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ක්ෂේත්‍රයට අදාළ මාර්ගෝපදේශ සංග්‍රහයක්ද එළිදක්වා ඇති අතර, එය යටතේ උපදේශන ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමට උපකාරී වන ධාරිතා සංවර්ධන මොඩියුල, කළමනාකරණ අත්පොත් සහ 21 වන සියවසට අදාළ නිපුණතා මොඩියුල ඇතුළත් කර ඇත.

ඒ අනුව, උපදේශන ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන්, සිසුන් ගැටලු වලට පෙලඹීම වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග සහ දෙමාපිය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.

“යහපත් පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂිත හා හිතකර පරිසරයක් පාසල් තුළ සකස් කිරීම රජයක් ලෙස අපගේ වගකීමයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here