දළදා වහන්සේ සියැසින් දැකගැනීමට මහනුවරට ජන ගඟක්

0
12


ලෝවැසියන්ගේ ගෞරවයට පාත්‍ර වු බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනිමේ අවස්ථාව වසර 16කට පසු ජනතාවට උදාවුණා.

සිරි දළදා වන්දනාවේ සමාරම්භය අද සිදුවුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

දළදා වන්දනාව ආරම්භ වු අද දිනයේ ලක්ෂයකට අධික පිරිසක් දළදා වහන්සේ වැදපුදා ගත්තා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙන්ම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මග පෙන්වීම යටතේයි සිරි දළදා වන්දනාව සංවිධාන කර ඇත්තේ. ඒ අනුව සිරි දළදා වන්දනාවේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිපූජනීය දළදා වහන්සේ වැදපුදා ගත්තා. අද සිට ලබන 27 වනදා දක්වා දළදා දැක්ම පැවැත්වෙනවා. ඒ අනුව දහවල් 12 සිට පස්වරු 5 දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ද දළදා වහන්සේ වැදපුදා ගැනීම සදහා අද දළදා මාළිගාවට පැමිණියා. මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන් කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකින් මහනුවර දක්වා ගමන් කළා. වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියා, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය ,පලස්තීනය, ප්‍රංශය, නවසීලන්ත,කියුබාව,ඊජිප්තුව,ජපානය, බ්‍රිතාන්‍ය, තායිලන්තය, කැනඩාව හා කොරියාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් දුම්රියෙන් මහනුවරට පැමිණියා. ශ්‍රී ලංකාව යළි  ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත් මෙතෙක් රට වෙලාගෙන තිබූ සියලු බාධාවන් ඉවත් වී රට තුල සහජීවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවුඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම මෙම ගමනේ තවත් අපේක්ෂාවක් වනවා. එමෙන්ම දිනපතා පෙරවරුවේ මහනුවර බලා යන සීඝ්‍රගාමි දුම්රියට විශේෂ මැදිරියක් යොදවා විදෙස් තානාපතිවරුන්ට ගමන් කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

මේ අතර සිරි දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා දැන් ක්‍රියාත්මකයි. දිනපතා විශේෂ දුම්රිය 8ක් මහනුවර දක්වා ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. එය ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. අළුයම 2.20ට ද විශේෂ දුම්රියක් ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සෑම දිනකම පෙරවරු 5ට සීඝ්‍රගාමී දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා පිටත් වන අතර යළිත් පෙරවරු 9ට දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ සිට මහනුවර දක්වා ලංගම බස් රථ ධාවනය කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. මෙවැනි අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා රජයට ස්තුතිය පළ කරන බව ජනතාව සදහන් කරනවා.

අද සිට දින 10ක් පුරා පැවැත්වෙන සිරි දළදා වන්දනාවට එක්වන පිරිස් සදහා ප්‍රවේශ මාර්ග තුනක් සකස් කර තිබෙනවා. ඒ ඩී එස් සේනානායක විදීය / වැවරවුම මාර්ගය හා අම්පිටිය රතුබොක්කුව අසළින් වැවරවුම ඔස්සේයි. මෙම මාර්ගවල ඇති පෝලිම්වල ජනතාව මේ වන විටත් රැදි සිටින ආකාරය දැකගත හැකියි. ඔවුන්ට අවශ්‍ය ආහාර / පානීය ජලය ඇතුලු පොදු පහසුකම් මේ වන විටත් සලසා තිබෙනවා.

අද දිනයේ දී දළදා වහන්සේ වැදපුදා ගැනිමේ අවස්ථාව හිමිවු ජනතාව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මෙය තම ජීවිතයේ ලැබූ විශාල භාග්‍යයක් වන බවයි.

මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

සිරි දළදා වන්දනාව සදහා සැදැහැවතුන් පැමිණෙන වාහනවල විශේෂ ස්ටිකරයක් ඇලවීම සිදු කෙරෙනවා.

ආරක්ෂාව සදහා පොලීසියට අමතරව ත්‍රිවිද හමුදාව ද යොදවා තිබෙනවා.

පොලිස් නිලධාරීන් 8500ක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය / පොලිස් නිල සුනඛ අංශය / ත්‍රිවිධ හමුදාව / බුද්ධි අංශ ඇතුලු නිලධාරීන් දසදහසකට අධික පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා. මෙලෙස සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරී කරන පොලිස් නිලධාරීන් සදහා විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබාදීමට වැඩබලන පොලිස්පති තුමා උපදෙස් ලබාදී තිබෙනවා.

එම නිලධාරීන් තම සේවා ස්ථානයෙන් බැහැරව දින 10කට අධික කාලයක් දිවා / රාත්‍රී රාජකාරී කටයුතු සිදුකිරීම හේතුවෙන් එම නිලධාරීන්ට දැරීමට සිදුවන අමතර වියදම් සලකා මෙම විශේෂ දීමනාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ. සිරි දළදා වන්දනාවේ පැමිණෙන කිසිවෙකු වෙනුවෙන් විශේෂ ප්‍රභූ පෝලිම් ක්‍රියාත්මක නොවන බවයි පොලිසිය සදහන් කරන්නේ. පැමිණෙන සියලු සැදැහැවතුන් සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත් විශාල ප්‍රමාණයේ ගමන් මලු / වීඩියෝ කැමරා වැනි විද්‍යුත් උපකරණ රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here