බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජී.එම්.ආර්.ඩී අපොන්සු පත් කෙරේ – Saru News | සිංහල

0
4

ජනාධිපති අනුර දිසානායක විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජී.එම්.ආර්.ඩී අපොන්සු පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔහු වෙත භාර දෙනු ලැබීය.

මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ජී.එම්.ආර්.ඩී අපොන්සු ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඔහු ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, සංවර්ධන මූල්‍යකරණය, මූල්‍ය විශ්ලේෂණය, බදු ප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපන සැලසුම්කරණය යන ක්ෂේත්‍රවල දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත නිලධාරියෙකු වේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් හා ආර්ථික කටයුතු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, ආර්ථික පාලනය හා ජාතික සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් උපායමාර්ගික ප්‍රතිපත්ති මගපෙන්වීම් ලබා දී ඇත.

ලුනාව රෝමානු කතෝලික පාසලෙන් සහ මොරටුව උයන ප්‍රාථමික විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලද ජී.එම්.ආර්.ඩී අපොන්සු, බ/කැප්පෙටිපොළ මහා විද්‍යාලයෙන් කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද, බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද සම්පූර්ණ කර ඇත.

ඔහු රුහුණ විශ්වවිද්‍යාලයෙන් (1994) භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක්ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත. එසේම ජපානයේ IDEAS (Institute of Developing Economies Advanced School) වෙතින් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ඇත.

ඔහුගේ රාජ්‍ය සේවා කාලය තුළ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේද සේවය කර ඇත.

ඊට අමතරව, ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කර ඇති අතර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) සැලසුම්කරණය හා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. තවද, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයෙහි (IHRA) පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here