ජාතික අපනයන මාර්ග සිතියම පෞද්ගලික අංශයට ඉදිරිපත් කරයි

0
4

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ඉදිරි ගමන්මග තීරණය කෙරෙන “National Export Roadmap: The CEO Forum” උපායමාර්ගික සංසදය ඊයේ (04) අපනයන සංවර්ධන මණ්ඩල (EDB) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවැත්විණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංසදයේදී මෙරට පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs) විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 වසරේ අපනයන ප්‍රගතිය සමාලෝචනය කරමින් 2026 සහ ඉන් ඉදිරියට වූ උපායමාර්ගික ඉලක්ක පිළිබඳව පොදු එකඟතාවයකට එළඹෙන ලදී.

සංසදය අමතමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ, දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා රජය “ප්‍රධාන ආයෝජකයා” ලෙස කටයුතු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පූර්ණ කැපවීමෙන් සිටින බවයි. කාර්මික කලාප නවීකරණය, බලශක්ති සැපයුම විධිමත් කිරීම සහ තාක්ෂණික පහසුකම් සැපයීම හරහා ව්‍යවසායකයින්ට වඩාත් හිතකර ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය බව ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සාමූහික දායකත්වය තුළින් පමණක් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී යළිත් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here