මාර්තු මස අටවෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් ලබන 05වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව එදින පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගිය 18 වෙනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තුව ලබන තුන්වෙනිදා සිට හයවෙනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.
මාර්තු මස තුන්වෙනිදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙරවරු 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා අංක 2467/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.
පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව විපක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
2026 මාර්තු 4 වැනි බදාදා පෙරවරු 9.30 – 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙරවරු 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත් පෙරවරු 10.30 – 11.00කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
ඉන් අනතුරුව 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ, ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය සඳහාය.
එමෙන්ම පස්වරු 5.00 – 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
2026 මාර්තු 5 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 – 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් 11.30 සිට පස්වරු 5.00 දක්වා මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටත් තීරණය කර බව සඳහන්ය.
2026 මාර්තු 6 වැනි සිකුරාදා පෙරවරු 9.30 – 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවත් 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන අතර 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Saru News













