Saturday, May 10, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් සෞන්දර්ය කලා හිටපු උපකුලපති මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ සමුගනී

සෞන්දර්ය කලා හිටපු උපකුලපති මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ සමුගනී

0
19


Former Vice Chancellor of Fine Arts Professor Jayasena Kottagoda passes away

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මිය යන විට 72 වන වියේ පසුවූ බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පහතරට නර්තනයේ ජීවමාන විශාරදයකු, සාහිත්‍ය සම්මානලාභියකු, පර්යේෂකයකු සහ කලා ක්ෂේත්‍රයේ බහුශ්‍රැත විද්වතකු ලෙස ප්‍රකට වූ ඔහු දේශීය සංස්කෘතික උරුමයන් රැකගැනීමේ මෙහෙවරේ නියැළුණු අති විශිෂ්ට චරිතයකි.
මාතර කෝට්ටගොඩ ග්‍රාමයේ දී 1952 නොවැම්බර් මස 22 වන දින උපත ලැබූ ජයසේන කෝට්ටිගොඩ මහතා සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුතු පවුලේ දෙවැනියා විය. ඔහු මූලික අධ්‍යාපනය සඳහා ගොඩඋඩ කනිටු විදුහලට ඇතුළත් වූ අතර, පසුව ගොඩඋඩ මහා විද්‍යාලයට පිවිසිණි.
ඉන් අනතුරුව ඔහු රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට ඇතුළත් වී ප්‍රාථමික නර්තන අධ්‍යාපනය ලබා ගත්තේය.
කෝට්ටිගොඩ මහතා සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් බිහිවූ ප්‍රථම ලලිත කලාවේ දී උපාධිධාරින් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස විශිෂ්ඨත්වය පෙන්වීය. 1978 ඔක්තෝබර් මස 31 වන දින ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්යවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
පසුකාලීනව ඔහු කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලයේ (වර්තමාන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) උපකුලපති ධුරයට පත්වී කැපී පෙනෙන දායකත්වයක් සැපයීය. එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කරමින් උසස් අධ්‍යාපනයේ සහ සෞන්දර්ය අධ්‍යාපනයේ දියුණුව සඳහා අමිල මෙහෙවරක් ඉටු කළේය.
මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ පළමු මහාචාර්ය සහ පළමු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස ඉතිහාසගත වී ඇත. ඔහු පහතරට නර්තනයේ ජීවමාන විශාරදයා ලෙස පිළිගැනීමට පාත්‍ර වූ අතර, පහතරට නර්තන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රය නව මගකට යොමු කිරීමේ පුරෝගාමියා විය.
ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍රය ඉතා පුළුල් විය.
ශ්‍රී ලංකා නැටුම්, ඉන්දියානු නැටුම්, සංගීතය, ජනප්‍රවාද සහ ජන කලා යන විෂයයන් යටතේ පොත් 30 ක් පමණ ප්‍රකාශයට පත් කරමින් එම ක්ෂේත්‍රයන්හි සාරවත් දැනුම් සම්භාරයක් පවත්වාගෙන ගියේය. ඔහුගේ බොහෝ පර්යේෂණ කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, එය ඔහුගේ විද්වත් බව සහ කැපවීම පිළිබඳ සාක්ෂියකි.
මහාචාර්ය කෝට්ටිගොඩ නර්තන ශිල්පියකු, පර්යේෂකයකු, ලේඛකයකු සහ අධ්‍යාපනඥයකු ලෙස පමණක් නොව, චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන ශිල්පියකු සහ නර්තන අධ්‍යක්ෂකවරයකු ලෙසද දක්ෂතා පෙන්වීය. ඔහු ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් රැසක බාහිර නිෂ්පාදකයකු ලෙසද කටයුතු කරමින් සිය දැනුම සහ කලා ප්‍රතිභාව පොදු ජනතාව වෙත ගෙන යාමේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය.
ඔහු නිර්මාණශීලී නර්තන අධ්‍යක්ෂකවරයකු ලෙස රාජ්‍ය උත්සව සඳහා නර්තන නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ අතර, විදේශීය රටවල බොහෝ රංග ඉසව් සඳහාද ඔහුගේ ඉමහත් දායකත්වය ලැබිණි. මෙම කටයුතු හරහා ඔහු ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ කලා සම්ප්‍රදායන් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කිරීමට කැපවී කටයුතු කළේය.
මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ මහතා ඔහුගේ විශිෂ්ට සේවාවන් වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් සහ ජාත්‍යන්තර වශයෙන් ගෞරවනීය සම්මාන රැසකින් පිදුම් ලැබීය. ඔහු ශ්‍රී ලංකා ජනාධිපති සම්මානලාභී කලාකරුවකු වූ අතර, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් “දේශනේත්‍ර” සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ජාත්‍යන්තර වශයෙන්, සිංගප්පූරුවේ ආසියානු අධ්‍යාපන විශිෂ්ටතා සම්මාන සංවිධානයෙන් “අධ්‍යාපන නායකත්ව සම්මානය” ඇතුළු වටිනා සම්මාන රැසකින් පිදුම් ලැබීමෙන් ඔහුගේ කලා හා අධ්‍යාපන ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්විය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ මහතාගේ දේහය බොරලැස්ගමුව, 10 කණුව පාරේ ඔහුගේ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනිදා බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ මහතාගේ අභාවය ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා ක්ෂේත්‍රයට දැවැන්ත පාඩුවකි. ඔහු පහතරට නර්තනය, ශාන්තිකර්ම, ජනශ්‍රැති සහ ජන කලා සම්ප්‍රදායන් පිළිබඳව කළ පර්යේෂණ සහ රචනා කළ ග්‍රන්ථ හරහා ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් සුරැකීමට අමිල මෙහෙවරක් ඉටු කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here