විවිධ අභියෝග මධ්‍යයේත් 2026 වසරේ පළමු කාර්තුවේ චීනයේ 5%ක ආර්ථික වර්ධනයක්

0
4

ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ වුවද චීනය විශාල ආර්ථික විභවයක් හා නම්‍යශීලිත්වයක් පෙන්නුම් කර ඇතැයි චීන ජාතික සංඛ්‍යාන කාර්යාංශයේ නවතම දත්ත වාර්තා පෙන්නුම් කර තිබේ.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම වාර්තාව නිකුත් කරමින් මෙම වසරේ ලෝක ආර්ථික වර්ධනය සඳහා වූ පුරෝකථනය 0.2කින් පහත හෙළමින් එය 3.1% දක්වා අඩු කර ඇතැයි ප්‍රකාශ කර තිබේ.

එවන් පසුබිමක මෙම වසරේ පළමු කාර්තුවෙහි චීන ආර්ථිකය පෙන්නුම් කර තිබෙන යහපත් ප්‍රතිඵල කැපී පෙනෙන්නක් බව චීනය නිකුත් කළ මෙම නවතම දත්ත වාර්තාව අනුව දැක්වේ.

මෙම වසරේ පළමු කාර්තුවේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5%කින් වර්ධනය වී මේ වසරේ වාර්ශික ආර්ථික වර්ධන පුරෝකථන පරාසයේ ඉහලම අගයට ළඟා වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. 

අපේක්ෂා කළ අගයද ඉක්මවමින් චීනය මෙලෙස මෙම වසරේ ජයග්‍රාහී ආරම්භයකින් වෙළෙඳපොළට දැඩි විශ්වාසයකින් ද ලෝකයට දුර්ලභ ස්ථාවරත්වයක්ද ගෙන දී ඇති බව චීන බලධාරීන් පවසයි.

විශ්ලේෂකයින් පෙන්වා දෙනුයේ වර්තමානයේ භූ දේශපාලන අවධානම් ඉහළ යාම හා ගෝලීය බලශක්ති වෙලෙඳපොළ අස්ථාවරවීම හමුවේ වුවද චීනය සිය සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිබීම එම ජයග්‍රහී ආරම්භයට ප්‍රධානම හේතු සාධකය වී ඇති බවය.

එමෙන්ම චීනය නව ගුණාත්මකභාවයෙන් යුත් ඵලදායීතාව වඩාත් වේගවත්ව වර්ධනය කිරීම සහ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම සිය ආර්ථිකය පරිවර්ථනය හා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශක්තිමත් ගම්‍යතාවයක් ලබා දී ඇතැයිද එම විශ්ලේෂකයින් සඳහන් කර තිබේ.

ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සතු සමස්ත ආර්ථික ධාරිතාව චීන යුවාන් ට්‍රිලියන 140ක් වන අතර එනම් එය ඇමරිකානු ‍ඩොලර් ට්‍රිලියන 19.44ක් ඉක්මවා යෑමකි. 

චීනයේ විශ්වාසය වනුයේ මෙවන් ඉහළ අගයක් මත දළ දේශීය නිෂ්පාදිතය 5%ක වර්ධනයක් අත්කර ගැනීම පහසු කාර්යයක් නොවන අතර චීන ආර්ථිකය තුළ දක්නට ලැබුණු ස්ථාවරත්වය, නව්‍ය ගම්‍යතාවය සහ නම්‍යශීලිත්වය මේ වසරේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දමා ඇති බවය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් Kristalina Georgieva‌ මහත්මිය ද පවසා ඇත්තේ ලෝකයේ විවිධ අභියෝගවලට මුහුණ දී සිටින වත්මන් කාලය තුළ චීනය සිය විශාලතම ආර්ථික විභවයක් හා නම්‍යශීලිත්වයක් පෙන්නුම් කරමින් ලෝකයට ධනාත්මක බලපෑමක් ගෙන දෙන බවය.

5%ක ආර්ථික වර්ධනය, ගෙවුණු පළමු කාර්තුවේදී චීනය ලද ආර්ථික ජයග්‍රහණයක් පමණක්‍ නොව, චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම ආරම්භයේ සුබවාදී පෙර නිමිත්තක්ද වේ. 

එසේම මෙය චීනයට ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ පැහැදිලි සංඥාවක් ද වන බව චීන ජාතික සංඛ්‍යාන කාර්යාංශය පෙන්වා දී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here