තමන් වංචා හෝ දූෂණ චෝදනා විහර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශ විකුර්ති කර ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ ප්‍රචාර කිරීමට එරෙහිව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශුසම්පත් ඇමති ලාල්කාන්ත විසින් හිරු නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දි ඉලලලා එන්තරවාසියක් නිකුත් කර ඇත.
එන්තරවාසියයි
- ගොවිජන මන්දිරය, රජමල්වත්ත පාර, බත්තරමුල්ල දරණ රාජකාරි ලිපිනයේ කටයුතු කරනු ලබන, මාගේ සේවාදායකයා වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් මත මෙම එන්තරවාසිය ඔබ වෙත යොමු කරමි.
- ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන ක්‍රියාකාරී සාමාජිකයෙකු සහ නායකයෙකු වන මාගේ සේවාදායකයා වෘත්තීය සමිති නායකයෙකු ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කීර්තිමත් චරිතයක් ඇති අයෙකු වන අතර, වර්තමාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස විශාල කාර්යභාරයකට නායකත්වය ලබා දෙමින් සිටී.
- දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මගේ සේවාදායකයා විසින් 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශයෙහි, ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ මෙන්ම දියණියගේ නමට පවතින වත්කම් ද ඇතුළත් කර ඇති අතර, එම වත්කම් සහ බැරකම් ප්‍රකාශය මහජනතාවට දැකගත හැකි වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.
- මගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි දන්වා සිටින්නේ, ඉහත කී වත්කම් හා බැරකම් ප්‍රකාශය භාවිතා කරමින් සහ එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ඔබ ආයතනයට අයත් හිරු ටීවී රූපවාහිනී නාලිකාවේ 2026.04.16 වන දින (හෝ ආසන්න දිනක) ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අසත්‍ය වූත් ද්වේශ සහගත වූත් ප්‍රවෘත්තියක් පළ කර ඇති බවයි. එකී ප්‍රවෘත්තියේ අනුවාදය පහත පරිදි වේ.
2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත යටතේ දේශපාලන නියෝජිතයින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව 2025 වර්ෂයට අදාළව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ පසුගිය වසරේ අගභාගය වන විට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව 2024/2025 වර්ෂයට අදාළව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශය පසුගිය වසරේ දෙසැම්බර් 26 දින සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම වත්කම් සහ බැරකම් ප්‍රකාශයට අනුව කේ.ඩී. ලාල් කාන්ත මහතා නිෂ්චල දේපළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුතු වර්ග අඩි 2500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක්, රු. මිලියන 56ක වටිනාකමින් යුත් වර්ග අඩි 4500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව පසු උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුතු වර්ග අඩි 1500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් සිය නිෂ්චල දේපළ ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ලාල්කාන්ත අමාත්‍යවරයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයට අනුව රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුතු පවුම් 8ක රන් ආභරණ සහ රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුතු රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45ක වටිනාකමකින් යුතු මෝටර් රථයක් ද චංචල දේපළ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර පෞද්ගලික ආයතන 10කට අදාළ රුපියල් තිස්අටකෝටි තිස්නම ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක සුරකුම්පත් ද ඔහු මිල දී ගෙන තිබෙනවා. මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට කේ. ඩී. ලාල් කාන්ත මහතා වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත්ලක්ෂ තිස් අට දහස් නවසිය දහඅටයි ශත දහයක් දේපළ බදු දීමෙන් ලැබෙන ආදායම ලෙස රුපියල් ලක්ෂ හතරක් සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හත්ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසියක මුදලක් දක්වා තිබෙනවා. ස්ථාවර තැන්පතු මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් විසිහත් ලක්ෂ පනස් පන් දහස් අටසිය පනස් එකයි ශත අනූ හතක් ප්‍රකාශ කර ඇති අතර වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහඅටලක්ෂයක් ද දක්වා තිබෙනවා. මේ අනුව කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවනවා.
- එම ප්‍රවෘත්තිය මාගේ සේවාදායකයා විසින්ම ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශය වෙත යොමුවෙමින් එහි කරුණු විකෘති කරමින් පළ කර ඇති බවට මා වෙත උපදෙස් ලැබී ඇති අතර, විශේෂයෙන් ම ඔහුගේ නමින් සහ පවුලේ සාමාජිකයින්ගේ නමින් ඇති දේපළ පිළිබද විස්තර ජනතාව නොමඟ යවන ආකාරයෙන් ඔබ විසින් එම ප්‍රවෘත්තිය මගින් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව, එම මුළු ප්‍රවෘත්තියම එනයින්ම සහ වක්‍රොත්තියෙන් එහ භාවිත කර ඇති වචන, හඩ සහ රූප භාවිත කර ඇති ආකාරයෙන් ම මාගේ සේවාදායකයා කෙරෙහි අපහාසාත්මක වන බවට මා වෙත උපදෙස් ලැබී ඇත.
- මාගේ සේවාදායකයා ප්‍රකාශ කර ඇති “වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවන” බවට ඔබ විසින් ගණනය කර ප්‍රකාශ කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යවන බවට මා වෙත උපදෙස් ලැබී ඇත.
- එහිදී මගේ සේවාදායකයාගේ දියණිය විසින් සමාගම් කිහිපයක මිලදී ගෙන ඇති මිල දී ගන්නා අවස්ථාවේ දී රුපියල් අනූදහසකට ආසන්න වටිනාකමක් වූ වර්තමාන වටිනාකම අනුව රුපියල් 143,000කට ආසන්න කොටස්වල වටිනාකම, සාවද්‍ය ලෙස හුවා දක්වමින්, මාගේ සේවාදායකයා විසින් “පෞද්ගලික ආයතන 10කට අදාළ රුපියල් තිස්අටකෝටි තිස්නම ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක සුරකුම්පත් මිල දී ගෙන” ඇති බවට ඔබ විසින් සම්පූර්ණ අසත්‍යයක් ද්වේෂසහගත ලෙස ප්‍රචාරය කර ඇති බවට මා වෙත උපදෙස් ලැබී ඇත.
- සත්‍ය වශයෙන්ම වත්කම් බැරකම් ප්‍රකාශය මගින් හෙළි කර ඇති පරිදි මාගේ සේවාදායකයාගේ දියණිය විසින් නමට පවතින කොටස්වල වර්තමාන සම්පූර්ණ වටිනාකම රුපියල් 143,000කට ආසන්න මුදලක් බව තහවුරු කර ගැනීමට සාධාරණ ලෙස සියළු කරුණු යෙදී තිබියදී ඔබ විසින් මෙසේ කටයුතු කර ඇත.
- මහජන දේපළක් වන සංඛ්‍යාත භාවිතයෙන් රජය විසින් ලබා දුන් බලපත්‍රයක් මත කටයුතු කරන ආයතනයක් ලෙස ඔබ විසින් නිසි සැළකිල්ලකින් සහ වගකීමකින් යුතුව කළයුතු කළ යුතුව ඇති බවත්, ඔබ විසින් එකී ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර මාගේ සේවාදායකයා වෙතින් කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් ලබා ගැනීමට අවම උත්සාහයක් හෝ දරා නොමැති බවට මා වෙත උපදෙස් ලැබී ඇත.
- එකී ඔබගේ ක්‍රියාකලාපය අනුව ඔබ විසින් මාගේ සේවාදායකයා කෙරෙහි වන ප්‍රකාශිත ද්වේශයෙන් කටයුතු කර ඇති බවත්, ඔබ විසින් හිතා මතාම එම පළ කිරීම මාගේ සේවාදායකයාට අපහාස කිරීමේ අරමුණින් සිදු කර ඇති බවටත් මා වෙත උපදෙස් ලැබී ඇත.
- රූපවාහිනියේ කරන ලද පළ කිරීමට අමතරව ඔබ විසින් පාලනය කරනු ලබන අනෙකුත් මාධ්‍යයන් සහ ඩිජිටල් මාධ්‍ය අවකාශයන් හි එකී පළ කිරීම විශේෂයෙන් උදෘත කරමින් සිරස්තල ලෙස “ඇමති ලාල්ට කෝටි 46ක එහා වත්කම්! වත්කම් බැරකම් ප්‍රකාශයේ තෑගි ඔප්පුවලින් ලැබුණු මිලියන 64.5ක දේපළත්!” යොදමින් එකී සිරස්තල සහ මාගේ සේවාදායකයාගේ රුව thumbnail ලෙස යොදා ගනිමින් තනි ප්‍රවෘත්ති වීඩියෝවක් ලෙස සංස්කරණය කර පළ කිරීමට ඔබ කටයුතු කර ඇති අතර, එකී සම්පූර්ණ ක්‍රියාකලාපය තුළම ඔබ විසින් යටි අරමුණු සහිතව මාගේ සේවාදායකයා කෙරෙහි ද්වේශයෙන් කටයුතු කර ඇති බව ද මාගේ සේවදායාකයාට අපහාස කිරීමේ අරමුණින් කටයුතු කර ඇති බව තහවුරු වන බව මා වෙත උපදෙස් ලැබී ඇත.
- ඔබ විසින් සිදු කරන ලද මෙම අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් මගේ සේවාදායකයා දෙබිඩි දේශපාලන ජීවිතයක් ගත කරන්නෙකු ලෙස සමාජයට ඒත්තු ගැන්වීමට ඔබ කටයුතු කර ඇති බවට මා වෙත උපදෙස් ලැබී ඇත. ඒ අනුව, මා වෙත ලැබී ඇති උපදෙස් අනුව දන්වා සිටින්නේ, ඔබ විසින් සිදු කර ඇති එකී පළ කිරීම හේතුවෙන් මාගේ සේවාදායකයාගේ කීර්ති නාමයට දැඩි කැළලක් සිදුවී ඇති බවත්, ඔහු කෙරෙහි මහජනයා තුළ පවතින පිළිගැනීම පහත හෙළීමට එය හේතු වී ඇති බවත් ය.
- විශේෂයෙන්ම මගේ සේවාදායකයා කෙරෙහි යහපත් හැඟීමකින් පසුවන ඡන්ද දායකයන්, පාක්ෂිකයන් සහ අනුගාමිකයන් ද මාගේ සේවාදායකයා නියෝජනය කරන රජය ගැන පැහැදීමකින් සිටින මහජනයා අතර ද සමස්ත ශ්‍රී ලාංකිකයින් අතරේ ද ඔහුව පිළිකුලට, අවමානයට, සමච්චලයට සහ අපහාසයට පත් කිරීමට ඔබ විසින් හිතාමතාම මෙම ප්‍රචාරය සිදු කර ඇති බව මා හට උපදෙස් ලැබී ඇත.
- මෙම ඔබ විසින් සිදු කරන ලද පළ කිරීම හේතුවෙන් මගේ සේවාදායකයාගේ කීර්ති නාමයට සිදු වූ හානිය රුපියල් බිලියන 10කට තක්සේරු කර ඇති අතර, එම මුදල මෙම එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත ගෙවන ලෙස දන්වා සිටිමි.
- තවද, ඔබ වෙත විකාශන බලපත්‍රයක් මාර්ගයෙන් වෙන්කොට ඇති පොදු දේපලක් වන සංඛ්‍යාත ඔබ විසින් දිගින් දිගටම පටු හා පෞද්ගලික දේශපාලන වුවමනාවක් වෙනුවෙන් අවභාවිතා කරන බව ඉතා පැහැදිලි බවත්, එබැවින් ඔබ වෙත නිකුත් කර ඇති විකාශන බලපත්‍ර අවලංගු කලයුතු බවට අදාල බලධාරී ආයතනයන්ට කරුණු දැක්වීමට ඇති අයිතියට අගති රහිතව මෙම එන්තරවාසිය යොමු කරන බවත්, මෙම එන්තරවාසියෙන් කරනු ලබන ඉල්ලීම අනුව කටයුතු නොකළහොත් නෛතික පොලිය සහ නඩු ගාස්තු ද සහිතව අදාළ වන්දිය අය කර ගැනීමට නඩු පවරන බවත් මෙයින් දන්වා සිටිමි.
0
Saru News
















