අමෙරිකාව සමඟ උදර්පන ගිවිසුම් පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස රුසියාව සිය පුරවැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සංචාරක උපදේශනයක දැක්වෙන්නේ, 2022 වසරේ රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දා සිට අමෙරිකාවේ දඬුවම් පැමිණවීමේ හැකියාව දැඩි වී ඇති බවය.
යම් හෙයකින් අමෙරිකානු බලධාරීන් අතට පත් වුවහොත් රුසියානු පුරවැසියන්ට දිගුකාලීන සිරදඬුවම් විඳීමට සිදුවීමේ අවදානමක් පවතින බව එහි සඳහන් වේ.
“අමෙරිකානු සම්බාධක මගින් රුසියානු ආර්ථිකයේ උපායමාර්ගික අංශ ඉලක්ක කර ඇති බැවින්, බොහෝ රුසියානුවන් තමන් නොදැනුවත්වම අමෙරිකානු නීති ක්‍රියාත්මක කරන ආයතනවල සහ බුද්ධි අංශවල ඉලක්ක බවට පත්වීමේ අවදානමක් ඇත,” යැයි අමාත්‍යාංශය පවසා ඇති බව සඳහන් වේ.
එමෙන්ම අමෙරිකානු බුද්ධි අංශ විවිධ වාසිදායක ව්‍යාපාරික හෝ සංචාරක දීමනා ලබාදී රුසියානුවන් විදේශ රටවලට ගෙන්වා ගැනීමේ කූට උපක්‍රම භාවිතා කරන බවටද රුසියාව චෝදනා කරයි.
රුසියානුවන් අමෙරිකාවට පාවා දීමට වැඩි ඉඩකඩක් ඇති රටවල් ලෙස රුසියාව පහත රටවල් නම් කර ඇත.
බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය සහ බොහෝ යුරෝපා සංගමයේ සාමාජික රටවල්.
කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය.
ලතින් අමෙරිකානු රටවල් බොහොමයක්, ලයිබීරියාව සහ මොරොක්කෝව.
ආසියානු රටවල් කිහිපයක්.
2008 වසරේදී තායිලන්තයේදී අත්අඩංගුවට ගත් අවි ජාවාරම්කරුවෙකු වූ වික්ටර් බවුට් ගේ සිදුවීමේ සිට මේ දක්වා රුසියානු ජාතිකයින් 100 කට වැඩි පිරිසක් මෙලෙස අමෙරිකාවට භාර දී ඇති බව රුසියාව පවසයි.
වික්ටර් බවුට් වසර 14 ක් අමෙරිකානු සිරකඳවුරක ගත කිරීමෙන් පසු 2022 වසරේදී නිදහස් කෙරුණේ රුසියාවේ සිරගත කර සිටි අමෙරිකානු පැසිපන්දු තරුවක වන බ්‍රිට්නි ග්‍රයිනර් සමඟ සිදුකළ සිරකරුවන් හුවමාරුවක ප්‍රතිඵලයක් වශයෙනි.
Saru News














