රජය කියන ටොම්පචවලට විරුද්ධව ජනතාව රජයට එරෙහිව එන්තරවාසී යවන දිනය වැඩි ඈතක නෑ – විපක්ෂ නායක සජිත්

0
3

අප්‍රේල් 21, කොළඹ LNW :

වර්තමාන රජය පච ආකාරයක් බවත් ටොම් පච කියා රටේ ජනතාව අන්දවා අද වන විට ජනතාව ලබා දුන් කතිරයෙන් රජ වී ඇත්තේ ජනතාව නොව බොරුව අසත්‍ය බවත් මේ අවස්ථාවේ බොරුකාර පචකාර දේශපාලනයෙන් ඉවත්වී රජය ජනතාව සමඟ ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාමය උඩුවිල ගංගාරාම රජමහා විහාරයට සහ පච්චමහාරාම පුරාණ රජමහා විහාරයට පැමිණ එම විහාරයන්හි වැඩවසන ගරුතර මහා සංඝරත්න බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් ලක්ෂ 50, ලක්ෂ 100 වන්දි මෙන්ම ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වත් ඒ කිසිවක් නොවු බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා යැයි කිව්වත් අද වන විට විදුලි බිල වැඩි කර ඇති බවත් වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙනවා කිව්වත් එයද නොවු බවත් අද වන විට ලෝකයේ බරපතල ගැටලුවක් මතුව ඇති මොහොතක බොහෝ රටවල් තෙල්වලට ගසා ඇති බදු අඩු කර ඇති මොහොතක බදු පිට බදු ගසා තෙල් මිල වැඩි කරනවා සේම වැඩි මුදලක් ගෙවා ඉන්ධන ගෙනවිත් ජනතාවට වැඩි මිලකට අලෙවි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුරවැසියන්ගේ කරපිට බදුබර පැටවීම රජයේ පොරොන්දුවක් නොවේ

පුරවැසියන්ගේ කරපිට බදුබර පැටවීම මේ රජයේ පොරොන්දුවක් නොවන බවත් බදු බර ලිහිල් කර ජනතාවට සහන දෙනවා කිව්වත් විදුලි බිල ඉන්ධන මිල වැඩි නොකරන බව කියා බලයට පැමිණ බාල ගල් අගුරු ගෙනවිත් විශාල වංචාවක් සිදුකළ බවත් බාල ගල් අගුරු ගෙනවිත් විදුලිය නියමිත පරිදි උත්පාදනය කළ නොහැකි වී ඇති බවත් මේ නිසා ඇතිව තිබෙන බර ජනතාවගේ කරපිට පටවා ජනතා විරෝධී ආණ්ඩුවක් ලෙස ක්‍රියාකරන බවත් මේ කියන ටොම්පචවලට විරුද්ධව පොරොන්දු කඩ කලාට ලක්ෂ 220ක් ජනතාව රජයට විරුද්ධව එන්තරවාසී යැවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරන්න ඉඩ දෙන්න බැහැ

මේ අවස්ථාවේ රටේ ජනතාව සහ ආයතන මර්ධනය කරන මාධ්‍ය මර්ධනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අහුරමින් පවතින බවත් රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට සැලෙන්නේ නැති බවත් නිදහස් මාධ්‍ය ආරක්ෂා කිරීමට විපක්ෂය පෙනී සිටින බවත් මාධ්‍යවේදීන් යම් යම් කරුණු කාරණා ප්‍රශ්න කරන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා මාධ්‍ය මර්ධනය කරන්න උත්සාහ කරන බවත් රටට නිදහස් මාධ්‍යයක් සේම ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බවත් නිදහස් මාධ්‍ය විසින ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුළුවන් නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න

දැන් රටේ ලක්ෂ 220ම මේ නිසා රජයට විරුද්ධව එන්තරවාසි යවන්න සූදානම් බවත් මැතිවරණ පොරොන්දු සියල්ල ටොම් පචවලට පරිවර්තනය වී ඇති නිසා මේ ටොම්පච ආණ්ඩුව පරාජය කරන්න ජනතාව සූදානම් බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන්න පළාත් සභා මැතිවරණය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් එවිට ටොම්පච ආණ්ඩුවට ජනතාවගේ විරෝධය දැකගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

පාස්කු වින්දිතයන්ට දැන්වත් යුක්තිය ඉටුවිය යුතුයි

අප රටේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ජීවිත, දේපල, ආගමික සිද්ධස්ථාන විනාශ වූ බවත් 2019 සිට මේ වෙනුවෙන් යුක්තිය ඉටු වනු ඇති බවට අපේක්ෂාවෙන් සිටින බවත් මේ නීච කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ මහමොළකරුවන් කවුද කියා දැන ගැනීමට කැමැත්තෙන් සිටින බවත් සත්‍ය කුමක්ද කියා අනාවරණය කිරිමට දේශපාලන බලපෑමෙන් තොරව විනිවිදභාවයෙන් යුක්තව පරීක්ෂණ කටයුතු සිදුවිය යුතු බවත් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගෙන පරීක්ෂණ කටයුතුවල විනිවිදභාවය තවදුරටත් තහවුරු කරන්න රජය කටයුතු කළ යුතු බවත් ඒ හරහා සත්‍ය අනාවරණය කිරිමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු විමර්ෂණ දේශපාලනීකරණය කරන්න එපා.

පුද්ගලයන් කණ්ඩායම් විවිධ ජන සමාජ ඉලක්ක කර ගෙන මේ ගමන යා නොහැකි බවත් මේ සත්‍ය සොයන ගමනෙන් දේශපාලනය ඉවත් කර නිවැරදි කරුණු කාරණා කුමක්ද කියා අවබෝධ කර ගැනිම සොයා ගැනීම මෙහි දී සිදුවිය යුතු බවත් සමගි ජන බලවේගය සත්‍ය වෙනුවෙන් නිවැරදි තොරතුරු වෙනුවෙන් පෙනි සිටින බවත් කිසිදු දිනක මේ පාස්කු ප්‍රහාරය ගැන පරික්ෂණ දේශපාලනීකරණය කරන්න ඉඩ නොතබන බවත් එම නිසා ජාත්‍යන්තර ආයතන සම්බන්ධ කර ගෙන විනිවිදභාවයෙන් යුක්ත පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් මේ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් උපරිම දඩුවම් ලබා දීම රජයෙ යුතුකම සේම ඒ වෙනුවෙන් සහාය ලබා දීම අප සියලු දෙනාගෙම වගකීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

The post රජය කියන ටොම්පචවලට විරුද්ධව ජනතාව රජයට එරෙහිව එන්තරවාසී යවන දිනය වැඩි ඈතක නෑ – විපක්ෂ නායක සජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here