මත්පැන් නිෂ්පාදනය කර බෙදාහරින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා මත්පැන් නිෂ්පාදනාගාර බැංකු මගින් වෙන්දේසි කිරීමට යොමුකර ඇති බැවින් හිඟ බදු මුදල් වාරිකය ගෙවීමට මූල්‍ය දුෂ්කරතා ඇතැයි විත්තිකාර අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෝ අධිකරණයට දැන්වීය.
ඒ 2016 සහ 2017 වසරවලට අදාළව එම සමාගම රජයට නොගෙවා පැහැර හැර ඇතැයි කියන රුපියල් ලක්ෂ 9,960 ක බදු මුදල් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් ඊයේ (23) කැඳවූ අවස්ථාවේදීය.
2023 පෙබරවාරි මාසයේ සිට මාසිකව ගෙවන රුපියල් ලක්ෂ පනහක් බැගින් වූ හිඟ බදු මුදල් වාරිකය සංශෝධනය කර ඒ සඳහා සහනයක් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් හිඟ බදු මුදල් අයකර ගැනීමට අධිකරණය හමුවේ නඩු පහක් පවරා ඇතැයි පෙන්වා දුන්නේය.
එම එක් නඩුවකදී හිඟ බදු මුදල් ගෙවීම, පැහැර හැරීම හේතුවෙන් විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂවරුන්ට සිර දඬුවම් නියම කළ බවත්, තවත් නඩුවක් ලබන ජුනි 25 වැනිදා කැඳවීමට නියමිත බවත් පෙන්වා දුන් නීතිඥ දිනේෂ් පෙරේරා 2019 සහ 2020 වසරවලට අදාළව බදු නොගෙවීමට එරෙහි නඩුවක් අභියාචනාධිකරණය හමුවේ විභාග වන බවද දැනුම් දුන්නේය.
ඒ අනුව හිඟ බදු මුදල් නියමිත පරිදි ගෙවීමට විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලෙස නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා හිඟ බදු මුදල් වාරිකය ගෙවීමේදී සහනයක් ලබාදෙන ලෙසට විත්ති පාර්ශ්වය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර විත්තිකාර සමාගම මෙම බදු ගෙවීමට නියමිත කාලය ද ඉක්මවා ඇති බැවින් ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් වහාම ගෙවන්නැයි එම සමාගමේ විත්තිකාර අධ්‍යක්ෂවරුන්ට ඊයේ (23) නියෝග කළේය.
මෙම නඩුවට අදාළ විමර්ශනයේ ප්‍රගතිය ලබන මස 25 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා දේශීය ආදායම් කොමසාරිස්වරයාට නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
📌සබැඳි පුවත්
Saru News
















