ගාස්තු වැඩිකළත් පසුගිය වසරේ විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 38කට අධික පාඩුවක් 

0
2

විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළද පසුගිය 2025 වසරේ විදුලිබල මණ්ඩලය අලාභ ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කර කළ 2025 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන්ව තිබේ.

මේ හේතුවෙන් පසුගිය 2025 වසර අවසානය වන විට විදුලිබල මණ්ඩලයේ සමස්ත අලාභය රුපියල් බිලියන 38.7ක් වාර්තා කර ඇති බව මහ බැංකුව මගින් නිකුත් කර ඇති මෙම වාර්තාවේ සඳහන්ව ඇත.

2024 වසරේ අවස්ථා කිහිපයකදීම විදුලි ගාස්තු අඩු කිරීමෙන් අනතුරුව 2025 වසරේ ජනවාරි මාසයේදී ද විදුලි ගාස්තු තවදුරටත් 20%ක සාමාන්‍ය අගයකින් අඩු කළ බවත් මෙම ගාස්තු අඩු කිරීම් සහ පළමු කාර්තුවේදී සාමාන්‍යයෙන් පවතින වියළි කාලගුණය මධ්‍යයේ තාප විදුලිබල උත්පාදනය සාපේක්ෂ වශයෙන් ඉහළ යෑම සමග උත්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් 2025 පළමු කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරීත්වයට සැලකිය යුතු බලපෑමක්ද එල්ල කර තිබේ.

ඒ අනුව මෙම එකතුවූ මූල්‍ය අලාභය පියවා ගැනීමේ අරමුණින් 2025 වසරේ ජූනි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය කරමින් ගාස්තු 15%කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති නමුත් එම ගාස්තු අලාභ පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය වසරේ මෙම රුපියල් බිලියන 38.7ක අලාභය වාර්තා වී ඇති බව අදාළ වාර්තාව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

මේ සමග පසුගිය 2024 වසර අවසානය වන විට රුපියල් බිලියන 174.3ක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කෙටිකාලීන ණය සහ වගකීම් පසුගිය 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 206.2ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම කාලපරිච්ඡේදයේදී දිගුකාලීක වගකීම් රුපියල් බිලියන 409 සිට රුපියල් බිලියන 411.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව නිකුත් කර ඇති මෙම වාර්ශික විවරණ වාර්තාවේ සඳහන් කර ඇත.

මේ අතර දෙවන කාර්තුවේ විදුලි සැපයුමේ පිරිවැය සහ ඉදිරි ආදායම් පුරෝකථන සැලකිල්ලට ගනිමින් 2026 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු තවදුරටත් 10.3%කින් ඉහළ දමමින් සංශෝධනයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය 2025 වසරේ ආර්ථික කටයුතුවල සිදුවූ වර්ධනයත් සමග වසරේ විදුලි ඉල්ලුමද අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සියලුම පාරිභෝගික කාණ්ඩ සඳහා සිදු කළ අලෙවියෙහි දක්නට ලැබුණු වර්ධනයත් සමග විදුලිබල අලෙවිය 2025 වසර තුළදී සමස්තයක් ලෙස 5.8%ක ඉහළ යෑමක් ද වාර්තා කර ඇතැයිද එහි සඳහන් වේ.

විශේෂයෙන්ම පාරිභෝගික කාණ්ඩවල විශාලතම කාණ්ඩය වන ගෘහස්ථ කාණ්ඩවල ඉල්ලුම දෙවන කාර්තුවේ සිට ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇති වුවත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එල්ල වූ බාධා හේතුවෙන් වසර අවසානයේදී බොහොමයක් පාරිභෝගික කාණ්ඩවල විදුලිබල ඉල්ලුම තාවකාලිකව පහළ ගොස් ඇති බවත් සමස්ත විදුලි ඉල්ලුම පෙර වසරට වඩා ඉහළ මට්ටමක පැවතුණු බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here