‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක්

0
5

‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක්

කුඩා කාලයේ දී දරුවන්ගේ මනසට වැටෙන වචන, සිතුවිලි සහ කතා ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලපාන ප්‍රබල සාධකයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ළමා පොත් පිළිබඳ ජාතික සමුළුව මඟින් ඉංග්‍රීසි බසින් සම්පාදනය කළ ළමා පොත් පිළිබඳ ව උපදෙස් සංග්‍රහය වන “Fiction Wonderland : A Comprehensive Guide to Creating Children’s Fiction Books” යන කෘතිය අමාත්‍යතුමිය වෙත පිළිගැන්වීමේ වැඩසටහනට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ පැවසී ය:

“දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන අතිශය බලවත් මාධ්‍යයක් ලෙස ළමා සාහිත්‍ය හඳුන්වන්න පුළුවන්. අපේ අරමුණ වන්නේ දරුවන්ට කියවීමේ රසයත් සමග නිරෝගී, සංවේදී මනසක් ගොඩනගා දීමයි. එබැවින් ළමා සාහිත්‍ය නිර්මාණය කළ යුත්තේ සරල වචන වලින් පමණක් නොව, දරුවාගේ මනස බබළවන විචාර සහ වටිනාකම් අන්තර්ගත කරමිනුයි.”

මෙවැනි ඉතා කාලෝචිත කෘතින් නිර්මාණය කිරීම හා එම පොත් පරිශීලනය කිරීමෙන් ඉදිරියේදී ළමා සාහිත්‍ය කෘති රචනා කරන ලේඛකයන්ට ඉතා උසස් නිර්මාණ බිහි කිරීමට මනා පිටිවහලක් ලැබෙන බවත් දරුවන් කුඩා කාලයේ සිට ම කියවීමට යොමු කරවීම හා උසස් රසවින්දනයක් ලබා දීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

ඉංග්‍රීසි භාෂාවෙන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත අතර ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, “Room to Read” ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් ඒකාබද්ධව දියත් කරන මෙම වැඩසටහනට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරිහූ එක් වූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here