හිස්හොරිවලින් හිස බේරාගන්න

0
17


හිස්හොරි ඇතිවීමේ විද්‍යාත්මක පදනම ගැන ‍දැනගන්නට බොහෝ දෙනෙක් එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. එහෙත් හිස්හොරි යනුවෙන් හඳුන්වන්නේ කෙනෙක් වැඩිවියට පත්වීමත් සමඟ ම ශරීරයේ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථීන් ආශ්‍රිත ව Mallassezia නමැති දිලීරය වර්ධනය වීම නිසා ඇතිවන තත්වයක්. හිස්හොරි හිසට පමණක් සීමාවන්නේත් නැහැ. හිසට අමතර ව මුහුණ, ඇහිබැම, නාසය, ඇහිපිහාටු, මුඛය දෙපස වගේ ම ඉකිලි සහ කිහිලි ප්‍රදේශවලත් හිස්හොරි පැතිරෙන්න‍ට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් ඔබ අවධානයට ගත යුතු දෙයක් තමයි හිස්හොරි බෝවන්නේ නැති රෝගයක් බව.

පරිසර උෂ්ණත්වය වැඩි කාලවල දී හිසට දමන දහඩිය ප්‍රමාණයත් වැඩි නිසා හිස්හොරි හටගැනීම වැඩිවන්නට ඉඩ තිබෙනවා. ඒ වගේ ම සමහරුන්ට මුහුණේ පවා හිස්හොරි ඇතිවන්නට ඉඩතිබෙනවා. මානසික ආතතියෙන් පෙළෙන අයට නිරන්තරයෙන් ම හිස්හොරි පවතින්නත් ඉඩ තිබෙන බවයි චර්ම රෝග සම්බන්ධ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. සමහරුන්ගේ වැරදි අදහසක් තිබෙනවා, හිස්හොරි  හැදෙන්නට අප ගන්නා ආහාර වර්ග බලපාන බවට. එහෙත් එහි කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නැහැ. ඒ වගේ ම අපිරිසිදුකම නිසා හිස්හොරි ඇතිවීම ද සත්‍යයෙන් ‍‍තොරයි. හිස් හොරි මර්දනය කරගන්නට වෙළඳ පොළේ විවිධ ෂැම්පු වර්ග, ආලේපන වර්ග, මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධ වර්ග තිබෙනවා. කෙසේ වුවත් හිස් හොරි මැඩපැවැත්වීම සඳහා නිරන්තර අවධානයෙන් සහ සැලකිල්ලෙන් ෂැම්පු භාවිතය හා බෙහෙත් භාවිතය සිදුකළ යුතුයි. හිස්හොරි පාලනයක් ඇතිවුවත් ඔබ ඒ වෙනුවෙන් යොදාගත් ෂැම්පු වර්ග හෝ ඖෂධ සතියකට වරක් හෝ අඛණ්ඩ ව භාවිත කිරීම වැදගත් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඒ වගේ ම හිස්හොරි තත්වය ඔබට පාලනය කළ නොහැකි තරමට ම වැඩිවර්ධනය වේ නම් ෂැම්පු වර්ග භාවිතය, හිතුමතයේ බෙහෙත් භාවිතය නතර කර චර්ම රෝග වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත කටයුතු කිරීම වඩාත් හිතකර වෙනවා. ඒ වගේ ම ඉතා කුඩා අවදියේ හෝ ඉතා වයස්ගත අවදියේ දී හිස්හොරි තත්වයක් ශීඝ්‍රයෙන් වැඩිදියුණු වනවානම් එය වෛරස් ආසාදනයක් නිසා හෝ වෙනත් රෝග තත්වයක් නිසා සිදුවූවක් ද යන්න සොයා බැලීම ඉතා වැදගත්.

(කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය, චර්ම රෝග විශේෂඥ වෛද්‍ය  සංජීවනී ෆොන්සේකා මහත්මිය සමඟ කළ පුවත්පත් සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද්දකි)

– නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here