හිජාබය සහ මහ්සා අමීනිගේ මරණයේ කතාව

0
10


2022 සැප්තැම්බර් මස දහසය වෙනිදා එක් අහිංසක තරුණ යුවතියක් පොලිස් අත්අඩංගුවේදී සිටියදීම ඉරානයේ රෝහලක් මත අවසන් සුසුම් හෙළා තිබුණා. 

ඊට ටික දිනකට පසු ටයිම්ස් චතුරස්‍රයේ දැන්වීම් පුවරු මත ඇගේ රුව ආලෝකමත් වුණා. පැරීසියේ සහ බර්ලීනයේ තාප්ප මත ඇගේ රුව සිතුවම් වුණා. බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ පුද්ගලික ජෙට් යානයේත් ටී ෂර්ට් වල ඉරාන ධජයේ කොළ, සුදු සහ රතු පැහැයන් අතර මේ සුන්දර යුවතියගේ සිනා මුසු මූණ සනිටුහන්ව තිබුණා. 

වියානාවේ සහ ලොස් ඇන්ජලීස් නුවර ඇගේ නමින් වීදී පවා වෙන්වුණා. 

ඉරානයෙන් පටන් ගෙන ලොව පුරා විහිදී ගිය විරෝධතා රැළි වල ඇගේ රුව සටහන් පුවරු ඔසවාගත් දහස් ගණනක් වූ ගැහැණුන්, පිරිමින් සහ කුඩා දරුවන්ගේ මුවින් පිටවූ පොදු වදන් පෙළක් තිබුණා. 

ඒ ඇගේ නම කියන්න, “මහ්සා අමීනී” “මහ්සා අමීනි” ලෙසයි ( say her name, “Mahsa Amini ! Mahsa Amini ! )

මහ්සා අමීනි උපත ලැබුවේ ඉතාම හොඳින් තම ආගමට සහ සංස්කෘතියට ගරු කරන කුර්දි ජාතික පවුලකයි. සුළුතරයක් වූ තම ප්‍රජාව නිසා ඉදිරියේදී ඇතිවිය හැකි ගැටළු ගැන සිතා ඇගේ පියා ඇයට ලිපි ලේඛන වල සඳහන් කිරීමට “මහ්සා අමීන්” ලෙස එක් නමකුත් පවුලේ සාමාන්‍ය භාවිතය සඳහා “ජිනා අමීන්” ලෙස තවත් නමකුත් ලෙස නම් දෙකක් යෙදුවා.

පවුලේ අයට අනුව මහ්සා දේශපාලනය සහ අරගල කිරීම් පිළිබඳව ඉතාම උදාසීන හැඟීමක් තිබූ ඉතා සාමාන්‍ය යුවතියක් වුණා. කිසිවිටක ඒ පිළිබඳව ඇය අදහස් ප්‍රකාශ කරේ නෑ. 

ඇය ඉතා කරුණාවන්ත මෘදු හදවතක් තිබූ ආදරණීය යුවතියක්ව සිටියා.

ඇගේ පියා පැවසූයේ ඇගේ මෘදු කටහඩ එක්වරක් ඇසූ අයෙක්ට කිසිදාක එය අමතක කළ නොහැකි තරම් ආකර්ෂණීය බවයි. 

ඇය සහ ඇගේ පවුලේ සාමාජිකයන් අතර තිබුණේ ඉතාම දැඩි බැඳීමක්. 

“ඇයට ගොඩක් යහළුවෝ හිටියෙ නෑ. ඇය සමාජය එක්ක ගැටුනු ගැහැණු ළමයෙක් නෙමෙයි.” මහ්සාගෙ පියා තවදුරටත් ප්‍රකාශ කරා. 

ඇගේ හොඳම මිතුරිය ඇගේ මව වූ අතර ඔවුන් දෙදෙනා එක්ව විවිධ 

කෑම වර්ග අත්හදා බැලුවා. කඳු සහ විවිධ අලංකාර ප්‍රදේශ සොයමින් ඇවිද්දා, ගීත වලට සවන් දෙමින් සහ ගීත ගායනා කරමින් සතුටු වුණා. 

“මහ්සා හොඳ කුතුහලයක් තිබූ යුවතියක්. ඇය හරි කැමතියි ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න.  ඇගේ උසස් අධ්‍යාපනය සම්බන්ධව මහ්සා නිරන්තරව ප්‍රශ්න කරා කරුණු සොයා බලමින් තීරණ ගත්ත.” 

ෆින්ලන්ඩ් වල වාසය කළ මහ්සාගේ මාම කෙනෙක් ඇය ගැන එලෙස පැවසුවා.

ඇය කුඩා කාලයේදී ලොකු බෝනික්කන්ට ගොඩාක් ආස වුණා. වෙළඳපොලට යන සෑම අවස්ථාවකම ඇයට ලොකු බෝනික්කෙක් ඕන කළා. බෝනික්කො එකතුවක් ඇය ළඟ මේ වෙනකන්ම තිබුණා. 

ඇය දීප්තිමත් වර්ණ වලට සහ දීප්තිමත් වර්ණ වලින් මැසූ ඇඳුම් වලට දැඩි කැමැත්තක් දැක්වූ යුවතියක්ව සිටියා. 

ඇගේ විනෝදාංශය වුණේ පවුලේ කුඩා දරුවන්ව බලාගැනීමත් ඔවුන් සමඟ කාලය ගත කිරීමත් බවත් පවුලේ ඥාතීන් ප්‍රකාශ කරා. 

ඖෂධවේදය පිළිබඳ ඉගෙනීම සම්පූර්ණ කළ සිටි ඇය වෛද්‍යවරියක් වීමට සහ රේඩියෝ නිවේදිකාවක් වීමට සිහින දැක්ක.

අත්අඩංගුවට ගත් දිනයට සතියකට පසුව උසස් අධ්‍යාපන හැදෑරීම ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඇය ඒ වනතෙක් තම පියාගේ ඇඳුම් සාප්පුවේ පියාට උදව් කරමින් සිටියා. 

ඉරානයේ හිජාබ් නීතියට අනුව එරට කුඩා ළමයින් සහ කාන්තාවන් තමන්ගේ හිසකෙස් සහ ශරීරය ආවරණය වන පරිදි හිජාබය පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. 

මෙම නීතිය උල්ලංඝනය කරමින් අවීනීත ලෙස ඇඳුම් ඇඳ සිටියායි චෝදනා කරමින් වයඹ දිග ඉරානයේ කුර්දීස් පළාතේ කුඩා නගරයක් වන සගේස් වලදී මහ්සා අමීනි නම් විසි දෙහැවිරිදි යුවතිය ඉරානයේ සංස්කෘතික පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. 

ඒ 2022 සැප්තැම්බර් 13 වෙනිදායි.

“මගේ දුව බොහෝ වෙලාවට දිග කබායක් ඇඳගෙනයි ඉන්නෙ. ඔවුන් ඇයව අත් අඩංගුවට ගන්න වෙලාවෙදීත් ඇය ඒ ඇඳුම ඇඳගෙනයි හිටියෙ.” මහ්සාගෙ පියා ප්‍රකාශ කරා.

“මගේ පුතා, මහ්සාගෙ මල්ලි ඒ වෙලාවෙදි ඇය එක්කයි හිටියෙ. අක්කව අරන් යන්න එපා කියල ඔහු ඔවුන්ට බැගෑපත් වෙලා තිබුණා. නමුත් ඔවුන් ඔහු කීව දේ ඇහුවෙ නෑ. ඔහුටත් පහර දී ඔහුගේ ඇඳුම් ඉරා දමා තිබුණා.”

සිරගත කර සිටියදී ඇයට පහර දුන් බව ඇගේ සොයුරාට එහි සිටි අය සාක්ෂි දී ඇති බවත් අමීන් මහතා මාධ්‍යට පවසා සිටියා. 

කෙසේ වෙතත් ඇයට හදිසි හෘදයාබාධයක් ඇතිවූ බව පවසා සංස්කෘතික පොලීසිය විසින් ඇයව රෝහලට ඇතුළු කර තිබුණා. 

ඇයගේ සෞඛ්‍ය තත්වයේ තිබූ දුර්වලතා නිසා එසේ සිදුවූ බව ඉරාන රජය ප්‍රකාශ කලත් එය ඉතා සාවද්‍ය ප්‍රකාශයක් බව ඇගේ පවුලේ අය ප්‍රකාශ කර සිටි අතර මාධ්‍ය කළඹවමින් කනකින් සහ මුඛයට දමා තිබූ බටයකින් ගලා එන රුධිරය සහිතව කෝමා තත්වයට පත්ව රෝහල් සයනයක් මත වැතිර සිටින මහ්සාගේ ජායාරූපයක් මාධ්‍ය වෙත මුදා හරින්නත් පවුලේ අය කටයුතු කළා. 

පවුලේ සියල්ලන්ගේ ප්‍රාර්ථනා සුණු විසුණු කරමින් අත් අඩංගුවට ගැනීමෙන් දින තුනකට පසු කෝමා තත්වයේ සිටියදීම මහ්සා අමීන් එහෙමත් නැත්නම් ජිනා අමීන් මරණයට පත්වුණා. 

තම දියණියගේ මළසිරුරේ හිස සහ යටිපතුල් පමණක් නිවාරණය කර තිබූ බවත් යටිපතුල් වල තැලීම් සලකුණු තිබූ බවත් අමීන් මහතා පවසා සිටියේ ඉතා හැඟීම්බරවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here